හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අයත් බැංකු ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ
පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පසන් කස්තුරිආරච්චි සඳහන් කළේ, මෙය හිටපු ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වයන් විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාරයක් බවයි.
මෙම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේදී ඊට විශ්වාසනීයත්වයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනවල නම භාවිතා කරන බවත්, එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පැවසිය.
මෙය තවත් එක් උගන්ඩා හෝ සීෂෙල්ස් කතාවක් වැනිම අසත්‍ය ප්‍රචාරයක් බව පැවසූ ඔහු, පසුගිය අරගල සමයේදීත් රාජපක්ෂවරුන් විදේශයන්හි මුදල් සඟවා ඇති බවට මෙලෙසම චෝදනා කළ බව සිහිපත් කළේය.
නමුත් වසර එකහමාරක් ගතවී ඇතත් එවැනි කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට වත්මන් පාලකයන්ට හැකි වී නොමැති බව ඔහු සඳහන් කළේය.
පොදුජන පෙරමුණ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ක්‍රියාවන්ට එරෙහිව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.
බලයට පැමිණීම සඳහා සිදුකළ බොරු චෝදනා එකින් එක බිඳ වැටෙමින් පවතින නිසා, ජනතාව නොමඟ යැවීම සඳහා ආණ්ඩුව මෙවැනි අලුත් ප්‍රචාර දියත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.
( news19 | ෆාතිමා සුමෙයිහා)
theleader,lk