ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 286ක මිලකට මිලදී ගත් බවට පළවන වාර්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉහළ මිල ගණන් යටෙත් මිලට ගෙන ඇත්තේ පිරිපහදු කළ අනෙකුත් ඉන්ධන බවයි.
සභාපතිවරයා අවධාරණය කළේ සංස්ථාව කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් ඩොලර් 286කට මිලදී ගෙන නොමැති බවයි.
ඔහු ඉදිරිපත් කළ දත්ත වලට අනුව, පසුගිය මාර්තු 11 වනදා මෙරටට පැමිණි බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.99ක් වූ අතර, ඉදිරි මාසය සඳහා විවෘත කර ඇති ණයවර ලිපි (LC) අනුව බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 113.29ක් පමණ වේ.
HSBC ආයතනය නිකුත් කළ වාර්තාවක "තෙල් මිලදී ගැනීමක්" (Oil purchase) ලෙස සඳහන් කර තිබූ කරුණක්, බොරතෙල් (Crude oil) ලෙස වරදවා වටහා ගැනීමෙන් මෙම මතභේදය හටගෙන ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.
"තෙල්" යන පොදු නාමය භාවිතා කිරීමේදී එය බොරතෙල්ද, පෙට්‍රල්ද නැතිනම් ඩීසල්ද යන්න නිවැරදිව සඳහන් කර නොමැති බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, ලෝක වෙළඳපොළේ ඩීසල් වැනි පිරිපහදු කළ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පිළිගත්තේය.
පෙබරවාරි මාසයේ ඩොලර් 88.83ක් වූ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල අප්‍රේල් මුල වන විට ඩොලර් 199.70 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටට ඉන්ධන මිලදී ගැනීමේදී නෞකාවෙන් තෙල් ගොඩබාන දින පහක මිල සාමාන්‍යය සහ වාරිකය (Premium) එකතු කර මිල තීරණය වන බැවින්, ලෝක වෙළඳපොළේ මිල උපරිම වූ කාල සීමාවකදී පැමිණි ඉන්ධන නැව් සඳහා මෙලෙස ඉහළ මිලක් ගෙවීමට සිදුවන බව හෙතෙම පැහැදිලි කළේය.
ඒ් අනුව ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 බැගින් මිලදී ගෙන ඇති බවත් සභාපතිවරයා පිළිගත්තේය.
එලෙස ඉහළ මිලකට හෝ ඉන්ධන ලබා නොගත්තේ නම් රටේ ඉන්ධන සැපයුම අඩාල වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය