ගල්අඟුරු වංචා ගැන ඕනෑම අයෙකුට කොමිසමට තොරතුරු ලබාදිය හැකියි -විජිත හේරත්

ගල්අඟුරු වංචා ගැන ඕනෑම අයෙකුට කොමිසමට තොරතුරු ලබාදිය හැකියි -විජිත හේරත්


ගල්අඟුරු ආනයනයේදී වංචාවක් සිදු නොවුණු බවත්, ගෙන්වූ ගල්අඟුරු බාල මට්ටමක තිබුණු බව පිළිගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ගල්අඟුරු මිලදී ගැනීම් ගැන විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට, ඕනෑම අයෙකුට ගල්අඟුරු සම්බන්ධ වංචා සම්බන්ධව තොරතුරු ලබාදිය හැකි බවය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,

"ගල්අඟුරු ආනයනයේ දී කිසිදු වංචාවක් සිදුකළේ නෑ. රජයක් ලෙස අපි වගකීමෙන් කියනවා. නමුත් අපි පිළිගන්නවා ඒ ගෙන්වූ ගල්අඟුරුවල තත්ත්වය යම් බාල මට්ටමක තිබුණ කියන එක. ඒක අපි ඉතා විවෘතව ජනතාවට දැනුම් දුන්නා. 

සියලු පරීක්ෂණ සිදුකරන්නේ ඒ අදාළ පර්යේෂණාගාරවල. ඒවා සියල්ල පසුකරමින් මේ ක්‍රියාවලිය සිද්ධ කරේ. නමුත් පාවිච්චියට ගන්න කොට  උපදවන විදුලි ධාරිතාවයේ යම් අඩුවක් තියෙනවා කියන එක නිරීක්ෂණය වුණා.

ඒ හැර කිසිදු ආකාරයක ඇමතිවරයාගේ සෘජු සම්බන්ධයක් මත හෝ වෙනත් අයගේ සෘජු සම්බන්ධතාවයක් මත දූෂණයක්, වංචාවක් සිද්ධ වුණා කියලා මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තහවුරු වෙලා නෑ.

ගල්අඟුරු ගෙන්වන සමාගම් එක්ක මොනවහරි ඩීල් දාලා වැරදි විදිහට මේවා ගෙනාවා කියලා...එහෙම කිසිම දෙයක් නැහැ. ඉතා වගකීමෙන් කියනවා. 

ඇත්තටම මේ කමිටු ප්‍රසම්පාදන කමිටු. ඒවා රජයේ නිලධාරීන්ගෙන් යුක්ත කමිටු. ජාතික ප්‍රසම්පාදන කොමිසම. ඒවා ස්වාධීනව කටයුතු කරන්නේ. ඒවායේ නිර්දේශවලට අනුකූලව තමයි මේ ගල්අඟුරු ආනයනය සිද්ධ කරලා තියෙන්නේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණය කළා, මේ පිළිබඳ විගණන පරීක්ෂණයක් කරලා විගණන වාර්තාවක් ලබාගත යුතුයි කියලා. 

ඒ විගණන වාර්තාවේ කිසිම තැනක ඇමතිවරයා මෙතන ගල්අඟුරු ගෙන්වීමේදී වංචාවක්, දූෂණයක් කරා කියලා කිසියම් ආකාරයක සඳහනක් වත් නෑ. 

ඒ නිසා යම් පාඩුවක් වුණා කියන එක පමණයි. ඒ නිසා විගණන වාර්තාවේ හරි පැහැදිලිව සනාථ කරලා තියෙනවා ඇමතිවරයා සම්බන්ධ වෙලා වංචාවක් සිදු කරේ නැහැ කියලා" යැයි පැවසීය.

Search