‘බලය ගන්න ලොකු සැලැස්මක් තියෙනවා’- මහින්ද කියයි

 ‘බලය ගන්න ලොකු සැලැස්මක් තියෙනවා’- මහින්ද කියයි

බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.


ඔහු මේ බව පැවසුවේ, අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු  ඊයේ (අප්‍රේල් 20) ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, නුදුරේදී ම දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් ය.

අලුත් අවුරුදු සැමරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට නම් අවුරුදු ගැන කිසිම හැඟීමක් නොතිබුණු බවයි.

ඊට හේතුව ජීවන වියදම ඉහළ යෑම බවත් එම නිසා ජනතාව ප්‍රශ්න ගොඩක සිටින බවත් හිටපු ජනාධිපතිවරයා
පැවසිය.

''අවුරුදු නම් අපිට ජයයි මං දන්නෑ ආණ්ඩු පක්ෂයට කොහොමද කියලා'' යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙවර මැයි දින සැමරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මැයි දිනය වෙසක් පොහොය දවසේ සැමරිය නොහැකි බවයි. එම නිසා එදිනට ආගමික වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරන බවද තමා එදින සිල් සමාදන් වීමට බලාපොරොත්තුවන බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

theleader.lk 

 

Search