කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව සොයා බලා වාර්තා කිරීමට සහ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව සාක්ෂි කරුවන් කැඳවීමට විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ සිදුවීම සිදු වූ කාල වකවානුවේ වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක එම කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.
මීට අමතරව අදාළ සිදුවීම සිදු වූ කාල වකවානුවේ වරාය විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනිත රුවන් කොඩිතුවක්ක සහ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවන ලෙස ද ඉල්ලා තිබේ.
අදාළ කමිටුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, මුජීබ් රහුමාන් සහ ඩී.වී චානක යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය කමිටුවේ සභාපති අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර වෙත යොමු කර ඇත.
අදාළ කමිටුව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වන අතර ඉහළ යෝජනාවට අදාළ සාක්ෂිකරුවන් කැඳවීම පිළිබඳව තීරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේය.
adaderana.lk