මුදල් අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී සිදු කර ඇති සයිබර් මංකොල්ලයක් සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය නියෝජිතායතනය සහ භාණ්ඩාගාරය අතර අරමුදල් පියවීමේ කටයුතුවල දී, දෙපාර්ශ්වය අතර Email මගින් තොරතුරු හුවමාරු වන අතරතුර මෙම සිදුවීම වී ඇති බවයි.
හැකර්වරුන් මෙම සන්නිවේදන පද්ධතියට ඇතුළු වී තොරතුරු හුවමාරුව අනිසි ලෙස හසුරුවා ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙන අතර ඉන්දියාවට සිදු කිරීමට නියමිතව තිබූ ගෙවීමකට අදාළව අතිරේක අරමුදල් ලබා ගැනීමට හැකර්වරුන් දැරූ උත්සාහයක දී මෙම වංචාව අනාවරණය වූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මේ බව සැල වූ වහාම ක්‍රියාත්මක වූ මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත මේ පිළිබඳව දැනුම් දී ඇත. ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය නියෝජිතායතනය වෙත යැවීමට නියමිතව තිබූ මුදල් හැකර්වරුන් ගේ පාලනයේ පවතින ගිණුම් වෙත යොමු කර ඇති බව එහි දී සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළ කරුණක් වූයේ මෙම ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන් අතර විනය ගැටලු පවතී ද යන්න පරීක්ෂා කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත අභ්‍යන්තර කමිටුවක් පත් කර ඇති බවයි. එබැවින් එම කමිටුවේ නිර්දේශ මත ඇතැම් නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනය පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම විමර්ශනය අඛණ්ඩව සහ කඩිනමින් සිදු කරන ලෙස භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත. විමර්ශන කටයුතුවලට සහ මුදල් අයකර ගැනීමේ උත්සාහයන්ට බාධාවක් නොවන පරිදි, සුදුසු අවස්ථාවක දී වැඩිදුර තොරතුරු ලබා දෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ ය.