මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ බොරු ! ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවට මහ බැංකුවත් වගකිව යුතුයි ! – හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් බරපතළ චෝදනා

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ බොරු ! ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවට මහ බැංකුවත් වගකිව යුතුයි ! – හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් බරපතළ චෝදනා

ඕස්ට්‍රේලියාවේ ණය මුදලක් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් වංචා කිරීමේ සිද්ධිය පිටුපස ශ්‍රී ලංකා මහ බැංකුවේ දායකත්වයක් පවතින බවට Free Lawyers සංවිධානය නියෝජනය කරමින් හිටපු ආණ්ඩුකාරවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරු චෝදනා කරති.

හිරු රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ මෙම ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම සහ ලිපි ගනුදෙනු සියල්ල සිදු කර ඇත්තේ මහ බැංකු නිලධාරීන් විසින් බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මෙය ‘සයිබර් ප්‍රහාරයක්’ ලෙස හැඳින්වුවද, එය සම්පූර්ණ අසත්‍යයක් බව මෛත්‍රී ගුණරත්න මහතා එහිදී පැවසීය .

අදාළ මුදල ගෙවන ලෙස දන්වා ලැබුණු ලිපියේ සඳහන් දුරකථන අංකයට කතා කර, ගිණුම් අංක පවා තහවුරු කර ගැනීමෙන් පසුව මෙම හුවමාරුව සිදු කර ඇති බැවින් මෙය සැලසුම් සහගත මූල්‍ය වංචාවක් මිස හැකර් ප්‍රහාරයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

මෙම වංචාව අනාවරණය වී මාස හයකට අධික කාලයක් ගත වී ඇතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව ද මෙහිදී අනාවරණය කෙරිණි .

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඕස්ට්‍රේලියාවේ හිටපු අසාර්ථක ව්‍යාපාරිකයෙකු බවත්, ඔහුට මහා භාණ්ඩාගාරය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවත් පවසන හිටපු ආණ්ඩුකාරවරුන්, මෙවැනි දුර්වල කළමනාකරණයක් යටතේ රජයේ මුදල් සුරක්ෂිත නොවන බවද පැවසූහ .

විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහි වගකීම භාරගත යුතු බවත්, අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී වෙනත් අයෙකු පත් කළ යුතු බවත් ඔවුහු ඉල්ලා සිටිති.

දැනට අනාවරණය වී ඇති පරිදි මෙම මුදල් අමෙරිකා එක්සත් ජනපදයේ ගිණුම් වෙත ගලා ගොස් ඇති බවට සැකකරන බවත් , එම මුදල් යළි මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් හිටපු ආණ්ඩුකාරවරුන් වැඩිදුරටත් සඳහන් කළහ.

Search