රංග නිශාන්තගේ මරණය සැකයි – බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක් – කමිටුවේ තීන්දුවත් ප්‍රශ්නගතයි – ගම්මන්පිලගෙන් අනාවරණයක්

මහා භාණ්ඩාගාරය සතුව පැවැති ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවය වෙත පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියදී අභිරහස් ලෙස මියගිය රංග නිශාන්ත මහතාගේ මරණය සැකසහිත බව ඒ මහතාගේ බිරිය විසින් පොලිසියට පැමිණිලි කොට ඇති බව හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මරණය සැක සහිත බවට බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කළ බව කුලියාපිටිය මහේස්ත්‍රාත් වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත එවන ලද ලිපියේද සඳහන්ව තිබෙන බව ඒ මහතා අනාවරණය කළේය.

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ අභිරහස් මරණය පිළිබඳව මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කළ උදේ ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියේ රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධ කරුණු එකිනෙක ගෙන බැලීමේදී ඕනෑම අයෙකුට සාධාරණ සැකයක් මතුවන බවයි.

මේ සම්බන්ධයෙන් විධිමත්ව සාක්ෂි විභාගය සිදු නොකර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබී නොතිබූ අවස්ථාවක මෙම මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පරීක්ෂණ මණ්ඩලය නිගමනයකට පැමිණියේ කෙසේදැයි ප්‍රශ්න කරන ඒ මහතා ඒ ගැනත් ගැටලු කිහිපයක් මතුවන බව පෙන්වා දුන්නේය.

මහා භාණ්ඩාගාරයේ සිදුවූ මෙම මූල්‍ය වංචාව පිළිබඳව ප්‍රථමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ රංග නිශාන්ත බවත් ඔහු අභිරහස් ලෙස මිය යෑම පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට බාධාවක් වන බවත් ඒ මහතා සඳහන් කළේය.

පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැමිණියේ කෙසේදැයි පරීක්ෂණ කමිටුවෙන් ප්‍රශ්න කිරීමට සිදුවන බව පවසන ඒ මහතා. විශේෂයෙන්ම මේ මරණයේ සැකය ආණ්ඩුව වෙත යොමු වෙලා තියෙන පසුබිමක, මරණ පරීක්ෂණය කරන්නත් කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සිය දිවි හානිකර ගැනීමක් කියලා රටට ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය

Search