ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05 ක් මරුට !

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05 ක් මරුට !

ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට එල්ල කරන ලද ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත පිහිටි කූඩාරමකට ඊයේ (10) සවස එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරට අල්ජසීරා වාර්තාකරුවන් වන මොහොමඩ් කිරිකේ සහ කැමරා ශිල්පීන් වන ඊබ්‍රාහිම් සාහර්, මොහොමඩ් නූෆල් සහ මොමෙන් අලිවා ඇතුළත් බව සඳහන් වේ.

ඝාතනයට ලක්වීමට සුළු වේලාවකට පෙර, 28 හැවිරිදි අල් ජසීරා වාර්තාකරුවෙකු වන අල්-ෂරීෆ්, ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව X සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබෙන අතර අවසන් පණිවිඩය ලෙසින් අල්-ෂරීෆ් සඳහන් කර ඇත්තේ තමා සෑම විස්තරයකින්ම වේදනාව අත්විඳි බවත් සහ දුක නැවත නැවතත් රස විඳි බවත් ය. අඳුරු අහස තැඹිලි ආලෝකයකින් ආලෝකමත් වන විට, ඊශ්‍රායලයේ දැඩි මිසයිල ප්‍රහාරවල ඝෝෂාව පසුබිමෙන් ඇසෙන වීඩියෝවක් ඔහුගේ අවසන් වීඩියෝව ලෙස කැමරාවේ සටහන්ව තිබෙන බවද වාර්තා වේ.

මෙම ඝාතන පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අල්ජසීරා මාධ්‍ය ජාලය පවසන්නේ “ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්” බවයි.

ගාසා තීරයේ පලස්තීනුවන් විඳිමින් සිටින කුසගින්න සහ මන්දපෝෂණය පිළිබඳ ඔවුන්ගේ නොනවතින වාර්තාකරණයත්, ඔවුන් මේ අපරාධයේ සත්‍යය සැමට ගෙන එන නිසාත් මෙම මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබූ බව අල්ජසීරා වාර්තාකරු හනී මහමුද් සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ

Search