යුක්‍රේනයේ දැනට පවතින යුද්ධය අවසන් කරලීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡා මෙතෙක් අදාළ මාතෘකාව සම්බන්ධයෙන් පැවති හොඳම සාකච්ඡා බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඇතුළු යුරෝපා නායකයන් පිරිසක් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමග යුක්‍රේනයේ පවතින යුද්ධය අවසන් කරලීම සම්බන්ධයෙන් පෙරේදා (18) ධවල මන්දිරයේදී සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා ඉතාමත් යහපත් මට්ටමින් පැවති බව ඇමරිකානු ජනාධිපතිවරයා ද පිළිගෙන තිබේ. අදාළ සාකච්ඡාවලින් අනතුරුව පවතින යුද්ධය අවසන් කරලීම සඳහා රුසියානු හා යුක්‍රේන නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගෙන් ඉල්ලා තිබේ.
රුසියානු හා යුක්‍රේන නායකයන් අතර යුක්‍රේන යුද්ධය අවසන් කරලීම සම්බන්ධයෙන් පැවැත්වීමට යන සාකච්ඡාවල සම සම්බන්ධීකරණය සිදු කරනුයේ ඇමරිකාව විසින් වන අතර එම සාකච්ඡාවල ආරක්ෂාව සහතික කරගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා යුරෝපා නායකයන් සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. මෙහිදී ආරක්ෂාව සහතික කරගැනීම යනුවෙන් අදහස් වනුයේ යුද බිමෙහි හමුදා පිරිස් සිටීමේ සිට බුද්ධි අංශ තොරතුරු බෙදාහදා ගැනීම දක්වා වූ තත්ත්වයන් බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයට අදහස් දක්වා ඇති එංගලන්ත අගමැති කියර් ස්ටාමර් පවසා ඇත්තේ රුසියානු – යුක්‍රේන නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාවල ආරක්ෂාව සහතික කරගැනීම සම්බන්ධ සාකච්ඡා ඊයේ (19) දිනයේ ද පැවතුණු බවයි. යෝජිත රුසියානු – යුක්‍රේන නායක සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමරිකානු ජනාධිපතිවරයා තමා එම සාකච්ඡාව පිළියෙල කිරීම අරඹා ඇති බවත් එය පැවැත්වෙන ස්ථානය තීරණය කළ යුත්තේ රුසියානු හා යුක්‍රේන නායකයන් විසින් බව අවධාරණය කර තිබේ. රුසියානු – යුක්‍රේන නායක සාකච්ඡා නිමවීමෙන් පසුව එම නායකයන් හා තමා අතර ද සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.