තෙල් මිල ඉහළයාම අමෙරිකාව තුළ උද්ධමනය ඉහළයාමට හේතුවිය හැකි නිසා එය නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු මැදිකාලීන මැතිවරණයේදී ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක වන බව පැහැදිලි කරුණක්.
මේ නිසා යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළයාම තාවකාලික තත්ත්වයක් ලෙස හඳුන්වන්න ජනපති ට්‍රම්ප් පියවර ගත්තේ සමාජ මාධ්‍ය සටහනක් පළකරමින්.
'තෙල් මිල ඉහළයාම කෙටිකාලීනයි. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන්වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටේවි. සාමය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් අමෙරිකාවට සහ ලෝකයට සිදුකිරීමට ඇත්තේ සුළු මූල්‍යමය කැපකිරීමක් පමණයි. ඒ ගැන වෙනස් ආකාරයෙන් සිතන්නේ අඥානයන් පමණයි' යනුවෙන් ජනපති ට්‍රම්ප් සිය ටෘෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් පළ කළා.
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය හේතු දැක්වීම විටින්විට වෙනස් කරන ජනපති ට්‍රම්ප් දැන් නැවතත් ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයක් ගැන කතා කරන්න පටන්ගෙන තිබෙනවා.
ඉරානය සතු 60%ක ප්‍රමාණයට පිරිපහදු කළ යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධන තොගය අත්පත් කරගැනීම සඳහා විශේෂ හමුදා බලකායක් යෙදවීම පිළිබඳව සලකා බලන බවත් ජනපති ට්‍රම්ප් වරෙක ප්‍රකාශ කළා.
කෙසේනමුත් මැදපෙරදිග හෝ ලෝකයේ ඕනෑම යුද කලාපයක අමෙරිකානු ගොඩබිම් හමුදා යෙදවීම අමෙරිකානුවන්ට ඉතා සංවේදී කරුණක්.
නවතම ජනමත සමීක්ෂණවලින් පෙනීගොස් ඇති කරුණක් තමයි 2024 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළ අමෙරිකානුවන් පවා ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර අනුමත කළත් , ගොඩබිම් හමුදා යෙදවීම අනුමත නොකරන බව.
එහෙත් ඉරානයේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුකිරීම අමෙරිකාව මෙන්ම ඊශ්‍රායලයත් අපේක්ෂා කරන නිසා අවශ්‍ය වුවහොත් ඉරානයේ ගොඩබිම් හමුදා යෙදවීමට සිදුවන බව ජනපති ට්‍රම්ප් පවසා ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීම සඳහා සුදුසු වාතාවරණය ගැනත් ජනපති ට්‍රම්ප් සති අන්තයේදී සඳහන් කළා.
ඉරානයේ නැවතත් යුද්ධයක් දියත් කළ හැකි හමුදාවක් ඉතිරි නොවනතුරු පහරදීමෙන් පසුව පමණක් යුද්ධය අවසන් කළ හැකි බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
එහිදී ඉරානය කොන්දේසි විරහිත ලෙස යටත්වීමකුත් ජනපති ට්‍රම්ප් අපේක්ෂා කරනවා.
එවැනි ඉලක්කයක් කරා ළඟාවීම ගොඩබිම් හමුදා යෙදවීමකින් තොරව සිදුකළ හැකිද කියන එක ගැටලුකාරීයි.
ඉරානයේ මිනාබ් නුවර බාලිකා පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් එහි ගැහැණු දරුවන් 168 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම භාරගැනීම ජනපති ට්‍රම්ප් මෙන්ම අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාද ප්‍රතික්ෂේප කළා.
එය ඉරාන ප්‍රහාරයක් නිසා සිදුවූ බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයේ ආරම්භක දිනයේදීම වාර්තාවූ එම සිදුවීම අමෙරිකානු ප්‍රහාරයක් නිසා සිදුවූ බවට අමෙරිකානු බුද්ධි අංශවල විමර්ශනයකින්ද තහවුරු වූ බව රොයිටර්ස් පුවත් සේවය මීට පෙර වාර්තා කළා.
ඒවගේම ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග අන්‍යොන්‍ය එකඟතාවකින් පමණක් සිදුකරන බවත් ජනපති ට්‍රම්ප් අවධාරණය කර ඇති කරුණක්.
ඒ සඳහා නෙතන්යාහු සමග සාකච්ඡා කර සුදුසු අවස්ථාවේදී තීරණයකට එළඹෙන බවයි ජනපති ට්‍රම්ප් 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' පුවත්පතට සඳහන් කළේ.
ඉරානයට එරෙහි යුද්ධය සඳහා අමෙරිකාව පෙළඹවූයේ නෙතන්යාහු විසින් බවටද චෝදනා එල්ලවන බව අපට මෙහිදී අමතක කරන්න බැහැ.
adaderana.lk