ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවක් සඳහා ජපන් අග්‍රාමාත්‍ය ටකයිචි සැනේ වොෂින්ටනය බලා පැමිණ ගොස් ඇතැයි ජපන් එන්එච්කේ ලෝක පුවත් සේවය අද (19) වාර්තා කර තිබෙනවා.
ජපන් අග්‍රාමාත්‍යවරිය රැගත් රජයේ නිල ගුවන් යානය එරට දේශීය වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 10:00 ට පමණ වොෂින්ටන් පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකට ළඟා වී තිබූ බවයි එහි වාර්තා කර ඇත්තේ.
ටකයිචි සහ ට්‍රම්ප් අතර නිල හමුව බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ප්‍රධාන වශයෙන් ඉරානයේ වත්මන් තත්ත්වය පාලනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ.
ටෝකියෝ නුවරින් පිටත්වීමට පෙර අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය වහාම සමනය කිරීම අතිශය වැදගත් බවයි.
ජපානයේ ස්ථාවරය සහ අදහස් සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් පවසා තිබූ බවයි වාර්තා වන්නේ.
ඉරාන තත්ත්වය තවදුරටත් අස්ථාවර වුවහොත් එය ජපාන සහ ඇමරිකානු ආර්ථිකයට මෙන්ම සමස්ත ලෝක ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි ජපන් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම මෙවැනි තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්විය හැකි ආර්ථික ආරක්ෂාව පිළිබඳ කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇති බව සඳහන්.
මෙය නායකයන් දෙපළ අතර පැවැත්වෙන දෙවන සෘජු හමුවයි.
ජපාන-ඇමරිකානු සන්ධානයේ වැදගත්කම යළි තහවුරු කිරීම සහ ඇමරිකාවේ සිදු කෙරෙන ජපාන ආයෝජන ඇතුළු ආර්ථික සහයෝගීතාවය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම අග්‍රාමාත්‍ය ටකයිචිගේ අරමුණ බවද මෙහි වාර්තා කර තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවැත්වෙන නිල දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ද නියමිතයි.
මීට අමතරව ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ඇය සහභාගී වීමට නියමිතව තිබෙන බවයි එන්එච්කේ ජපාන ලෝක පුවත් සේවය වාර්තා කර ඇත්තේ.