නිමලරාජන් මගෙ සහෝදරයා.. අන්තිමේ බලනකොට උඹම උඹට වෙඩිතියාගෙන..!

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් සහෝදරයා ඝාතනය කර වසර 21ක් සම්පූර්ණ වන්නට ආසන්න වූ තැන, ඒ ඝාතනයට ‘යුක්තිය’ ඉටුවී තිබේ.
සියලු ඝාතන සැකකරුවන් නිදහස් කරමින්, නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා විසින් යාපනය උසාවියට දැනුම්දෙනු ලැබීමෙන් අනතුරුව, මෙතරම් කලක් උසාවියේ පල්වෙමින් තිබූ නඩුව කුණුකූඩයට විසිකිරීමෙනි, ගෙවීගිය සතියේ ඒ යුක්තිය ඉටුවී ඇත්තේ.


ඇඳිරි නීතිය බලපැවැත්වෙමින් තිබූ රාත්‍රියක, යාපනය අධි ආරක්ෂිත කලාපයේ පිහිටි නිමලරාජන්ගේ නිවසටම කඩාවැදුණු ඝාතකයින් විසින් ජනේලයෙන් වෙඩි තබා, අත්බෝම්බ ගසා ඔහු ඝාතනය කරන ලද්දේ 2000 වසරේ ඔක්තෝබර් 19වැනිදා ය.

ඝාතනය කරන විටත් ඔහු සිටියේ යාපනය ජනයා යුද්ධය නිසා මුහුණදෙන පීඩාවන් ගැන වීරකේසරී පුවත්පතට ලිපියක් සම්පාදනය කරමිනි.
මේ ඝාතනයට ඍජුව ම ඇඟිල්ල දිගුවූයේ EPDP හෙවත් ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට යි. රජයේ හමුදා සමග එක්ව අතුරු හමුදාවක් ලෙස ක්‍රියාත්මක වූ, එවකට පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබල හවුල්කාරයෙක් වූ ඊපීඩීපියට නායකත්වය දුන් ඩග්ලස් දේවානන්දා සිටියේ චන්ද්‍රිකා ආණ්ඩුවේ පුනරුත්ථාපන ඇමැති ධූරය දරමිනි‍.

නිමලරාජන් ඝාතන නඩුවේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනුණු 6දෙනාම ඊපීඩීපියට සම්බන්ධ පුද්ගලයන් වූ අතර, ඔවුහු වරින් වර ඇප මත මුදාහරිනු ලැබූහ. ඔවුන්ගෙන් ලද තොරතුරුවලින් හෙළිදරවු වූ ප්‍රධාන ඝාතන සැකකරු කිසිදා අත්අඩංගුවට නොගැනිණි‍.

ඝාතනය සිදුකරන විට චන්ද්‍රිකා ආණ්ඩුවේ සිටි ඊපීඩීපී ය, නඩුව අත්හැරදමන අද දවසේ සිටින්නේ ගෝඨාභය ආණ්ඩුවේ ය.

යුද්ධයෙන් බැටකන යාපනයේ සිය ජනතාවගේ දුක ලෝකයට කීමේ නොතිත් අනුරාගයෙන් මැඩුණු නිමලරාජන් උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් අතර ද එකල ජනප්‍රිය චරිතයක් වූයේ ය. බොහෝ මාධ්‍ය ආයතනවලට ඔහු මහා තොරතුරු හා ප්‍රවෘති මූලාශ්‍රයක් විය. ඔහු තමන් අත ඇති තොරතුරු දකුණේ මාධ්‍ය ආයතනවලට පවා ලබාදුන්නේ හුදු මුදල් බලාගෙන නොවේ.

BBC සංදේශයේ මෙන්ම BBC දෙමළ අංශයේ ද මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නිමලරාජන් දකුණේ රාවය, වීරකේසරී ඇතුළු පුවත්පත්වලට ද, හිරු එෆ් එම් ඇතුළු විද්‍යුත්මාධ්‍යවලට ද සිය දායකත්වය ලබාදුන්නේ ය.

එහෙත් ඔහුට අවසාන වතාවට ජනමාධ්‍ය හැඳුණුම්පතක් ලබාදීමට මේ කිසිදු ප්‍රකට මාධ්‍ය ආයතනයක් ඉදිරිපත් වූයේ නැත‍.

ප්‍රධාන දහරාවේ මාධ්‍යයක හැඳුනුම්පතක් නැතිව යාපනය වැනි පෙදෙසක වාර්තාකරණය එකල අතිශය අනතුරුදායක වුවත්, බීබීසීය ද ඇතුළු ඔහුගේ සේවය යහමින් ලබාගත් මාධ්‍ය ආයතන ඔහුට හැඳුනුම්පතක් ලබාදීම ප්‍රතික්ශේප කළේ ය. රාවයෙන් කළ ඉල්ලීම ද ඉවත දැමුණු අතර, රාවය කර්තෘ වික්ටර් අයිවන් එම ඉල්ලීම ඉවත දැමූ පුද්ගලයා බව වාර්තා වී තිබේ.

යුද කලාපයේ තොරතුරු වෙනුවෙන් නිමලරාජන් යහමින් සූරාකෑ සියලු ‘ප්‍රධාන’ මාධ්‍ය ආයතන මේ මිනිසාට මාධ්‍ය හැඳුනුම්පතක් ලබාදීමෙන් කරඅරිද්දී, ඔහුට හැඳුනුම්පතක් ලබාදුන්නේ නව සමසමාජ පක්ෂයට සම්බන්ධ ‘හරය’ පුවත්පත ය.‍

සිය ජනතාවගේ දුක් පීඩා ලෝකය හමුවේ තැබීමේ දුෂ්කර වෑයමේ නිරතව සිටි, උතුරේ පමණක් නොව කොළඹ සිංහල මාධ්‍යවලට ද සම්පතක් සේ පෙනුණු මේ මිනිසා ඝාතනය කර වසර 21ක් පිරෙන්නට ආසන්න වන අවස්ථාවේ නීතිය විසින් ඔහුගේ ඝාතනයට ලබාදී ඇති යුක්තියට අනුව, වසර ගණනාවක් තිස්සේ ඇහෙන්නේ නැතිව තිබූ නඩුව කුණුකූඩයටම වැටී තිබේ.

ඒ අනුව මේ මිනිසාගේ ඝාතනය දැන් මිනීමරුවෙක් නැති මිනීමැරුමකි.

අඩුම තරමේ මේ නඩුව ඉවත දැමීමේ සිදුවීම ලංකාවේ ජනමාධ්‍ය කීයකට ප්‍රවෘතියක්වත් වූවාදැයි මම නොදනිමි.

නිමලරාජන් මගෙ සහෝදරයා…
අන්තිමේ බලනකොට උඹම උඹට වෙඩිතියාගෙන බෝම්බත් ගහගෙන…!

සනත් බාලසූරිය