'පෞද්ගලිකරණයෙහි විවධ මුහුණුවර සහ ඒවායින් අධ්‍යාපනයට සිදු වන බලපෑම්' - ආචාර්ය හරිනි අමරසූරිය

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්‍ය උපදේශක කමිටුවෙහි සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට

පැමිණි අවස්ථාවේදී මාගේ නිරීක්ෂණද කමිටුවට ඉදිරිපත් කළෙමි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මගේ නිරීක්ෂණවලට ලබා දුන් දීර්ඝ පිළිතුර මගින් මුදල් අය කරන සමාන්තර විශ්වවිද්‍යාල පද්ධතියක් භාණ්ඩාගාර අරමුදලින් ස්ථාපනය කිරීමේ තීරණය ගැන වැදගත් සහ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් වුනි. ඉන් සැබවින්ම අනාවරණය වූයේ 'රාජ්‍ය සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාවය' මෙන්ම 'අධ්‍යාපනය පෞද්ගලිකරණය' යන සංකල්ප පිටුපස ඇති චින්තනයයි.

ආරක්ෂක ලේකම්වරයා විස්තර කරන පරිදි ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) අවම ලෙස ගාස්තු අය කරන්නේ 'පාඨමාලා නිසා අලාභයක් අත් නොවිඳීමට සහ සේවාවන් ඉහල තත්වයෙන් සහ ප්‍රමිතියෙන් පවත්වා ගැනීමට' බවය. තවද, KDUහි කටයුතු ‘තිරසාරව’ සහ ‘භාණ්ඩාගාරයට බරක් නොමැතිව’ පවැත්වා ගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් අවධාරණය කළ බවද සඳහන් විය. ඔහු තවදුරටත් පවසා සිටින්නේ KDU මගින් සිසුන් පිටරටවලට යාම වෙනුවට විකල්පයක් සපයා දීම හේතුවෙන් විදේශ විනිමය රට තුලම ඉතිරි කර ගැනීමටද, විදේශීය සිසුන් ඇතුලත් කර ගැනීම හරහා විදේශ විනිමය උපයීමටද හැකියාවක් ලැබී ඇති බවය.

මෙම පැහැදිලි කිරීම අද ප්‍රතිපත්ති සම්පාදකයින් අතර ඇති පොදු හැඟීමක් පිළිබිඹු කරයි: එනම් අධ්‍යාපනයට රාජ්‍ය අරමුදල් සැපයීම ‘බරකි' සහ මහජනයා වෙනුවන් සිදු කරන සියලු රාජ්‍ය වියදම්වලට හුදෙක්ම ආර්ථිකමය වලංගුතාවයක් තිබිය යුතුය යන අදහසයි. උදාහරණයක් ලෙස ආයෝජන ප්‍රතිලාභය තනිකරම මූල්‍යමය විය යුතුය. සංවර්ධනය, ලාභය, සහ ප්‍රතිලාභ පිළිබඳ සරල ආර්ථික මිනුම්වලින් ඔබ්බට ගිය වගකීම් රජයට තිබිය හැකිය, ඒවායින් ඔබ්බට ගිය ජීවිතයක් මිනිසුන්ට තිබිය හැකිය යන අදහස ඔවුනට ඉතා දුරස්ථ බවක් පෙනේ. ඔවුන්ගේ ආර්ථිකමය තර්කනයන් අධ්‍යාපනය කෙරෙහි යෙදීම යනු පොදු වටිනාකමක් නොමැති තනි පුද්ගල සමාජ පැවැත්ම සඳහා පමණක් වන ආයෝජනයක් ලෙස අධ්‍යාපනය සැලකීමය. මෙහිදී අධ්‍යාපනයෙන් රජය ඉවත්වීම සුදුසු යැයි තර්ක කිරීමක් සිදු වනවා පමණක් නොව, 'අධ්‍යාපනයට ඇති අයිතිය' යනු අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට තීරණය කිරීමද ඇතුළුව, තේරීම්, එසේත් නැත්නම් විකල්පයන් පුළුල් කිරීම ලෙස පටු අදහසක්ද ඉදිරිපත් කෙරේ.

එනමුදු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාව විසින් 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද 'නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති වාර්තාව' ඉදිරිපත් කරන්නේ මීට හාත්පසින් පරස්පර දෘෂ්ටිකෝණයකි. මෙම වාර්තාවේ කතුවරුන්ගේ ස්ථාවරය වන්නේ අධ්‍යාපනය සඳහා රාජ්‍ය වගකීම අත්‍යවශ්‍යය බවය. ඊට හේතුව ලෙස දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට, ප්‍රගතිය හා සංවර්ධනය කරා යන රටකට, එම ගමනට අවශ්‍ය කාර්යභාරයන් සහ වගකීම් ඉටු කිරීමට හැකියාව ඇති පුරවැසියන්ගේ අවශ්‍යතාවයයි. එනම්, අධ්‍යාපනය යනු පුද්ගල හැකියාව පෝෂණය කිරීම වනවා සේම, සහ රාජ්‍ය අරමුදලින් ලබා දෙන අධ්‍යාපනය යනු සමාජ ආර්ථික තත්වය අනුව ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති හැකියාව තීරණය නොවීමට වගබලා ගැනීම වනවා සේම, අධ්‍යාපනය කෙරෙහි ඊට ඔබ්බට ගිය හා වඩා විශාල අපේක්ෂාවක් ද ඇත. එනම් අධ්‍යාපනය සමාජ පරිවර්තනයට, සමාජ උන්නතියට සහ ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට දායක වීමයි. එනම්, අධ්‍යාපනයට සාමාජීය සහ සාමුහික වටිනාකමක් ලබා දී ඇත. ඒ අනුව එය 'පොදු භාණ්ඩ' ගණයට අයත් වේ. එම නිසා පෞද්ගලික සහ කුඩා සමාජ කොටස් වල පටු අවශ්‍යතාවලට ඉහලින් අධ්‍යාපනය ඔසවා තිබීමට නම් එය මහජන මුදලින් පවත්වා ගත යුතුමය.

අද වන විට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම පිළිබඳ විවාදය හුදෙක් අධ්‍යාපනයට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න සහ තෝරා ගැනීමේ නිදහස පිළිබඳ ප්‍රශ්නයකට ලගු වී තිබීම අවාසනාවකි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම විවිධ ස්වරූපයන් ගත හැකිය: අධ්‍යාපනයෙන් රජය ඉවත්වීම සහ ලාභ නොලබන/ලබන අධ්‍යාපන අවස්ථා වර්ධනය වීම නිසැකවම එහි එක් අංගයකි. අධ්‍යාපනය ව්‍යාපාරගත කිරීම සහ අධ්‍යාපනය තවත් ඕනෑම වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීම යනු අවාසනාවකට ප්‍රමාණවත් අවධානයක් නොලැබන පෞද්ගලිකරණයේ තවත් අංගයන්ය. එනමුදු එතරම් සාකච්ඡාවට භාජනය නොවන මෙම කරුණු සමහරවිට අධ්‍යාපනය යන්නෙන් අප තේරුම් ගන්නා දෙයට මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය යන්නෙන් අප තේරුම් ගන්නා දෙයට විශාලතම බලපෑමක් ඇති කරන කාරණා විය හැක.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වූ විට වන්නේ එහි ඇති සාමාජීය හා සාමූහික වටිනාකම අකාමකා දැමීමයි. එවිට එය පෞද්ගලික දියුණුය වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජනයක් පමණි. එවිට, වෙනත් ඕනෑම වෙළඳ භාණ්ඩයකට මෙන් ඒ සඳහාද ඔබ මුදල් ගෙවිය යුතුය යන්න පමණක් නොව, ඔබේ අපේක්ෂාවන් හා ඒ සඳහා ගෙවීමට ඇති හැකියාව මත පදනම්ව ඔබට අධ්‍යාපන සේවාවන් 'තෝරා ගැනීමට' ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුය යන්න සම්පූර්ණයෙන් සාධාරණීකරණය වේ. එම නිසා එම අධ්‍යාපන සේවය අවම අධ්‍යාපනයක් සහතික කළ යුතුය. නමුත් ඊට වඩා දෙයක් ලඟා කරගැනීම පුද්ගල ධාරිතාවය සහ පෞද්ගලික වගකීම මත පදනම් වේ. නිදසුනක් වශයෙන්, පරම්පරාවකට පෙර දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු නොවූවාට වඩා දරුවන්ගේ අධ්‍යාපනයට මැදිහත්වීමක් අද දෙමව්පියන්ගෙන් අපේක්ෂා කෙරේ. දරුවෙකුගේ අධ්‍යාපනයේ අසාර්ථකත්වය බොහෝ විට දෙමව්පියන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් නොවීම හෝ දරුවාගේ නිවසේ ඇති ගැටලු මත පැටවේ. එය පෞද්ගලික අසාර්ථකත්වයක් ලෙස පෙන්වීම තුලින් දුර්වල අධ්‍යාපන ප්‍රතිඵලයන්ට දායක වන පද්ධතිමය දුර්වලතාවයන්ගෙන් අවධානය වෙනතකට යොමු කරයි.

මෙය ගුරුවරයා සහ සිසුවා අතර සම්බන්ධතාවයේ ස්වරූපයද වෙනස් කරයි. අධ්‍යාපනය පිළිබඳ වර්තමාන අවබෝධය තුළ ගුරුවරයා පුද්ගලයෙකුගේ අධ්‍යාපනය කෙරෙහි සේවා සපයන්නෙකි, මැදිහත්කරුවෙකි. ගුරුවරයා රීත්‍යනුකූල විය යුතු අතර යම් අධ්‍යාපනික ප්‍රතිඵලයන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉගැන්වීම්-ඉගෙනුම් පරිසරයට තමන්ගේම අර්ථ නිරූපණයක්, ජීවිත අත්දැකීම් සහ ආවේණික ශෛලියක් ගෙන එන මනුෂ්‍යයෙකු ලෙසට ගුරුවරයාට පිළිගැනීමක් හෝ අවකාශයක් ලැබෙන්නේ ඉතා අඩු වශයෙනි. එවිට ගුරුවරයා දරුවන් ප්‍රබෝධමත් කළ හැකි ශිල්පියෙකුට වඩා වෘත්තීයමය වශයෙන් නිපුණතා ඇති දැනුමෙහි මැදිහත්කරුවෙකු බවට පත්වේ. ඉගැන්වීම්-ඉගෙනුම් අත්දැකීම, සහසම්බන්ධය සහ සහයෝගය සහිතව සිදුවන විශේෂිත වූ අත්දැකීමක් ලෙස දකිනවා අඩුය.

අධ්‍යාපනයට රිංගා ඇති නව කළමණාකරණවාදය තුළද මෙම වෙනස දැකිය හැකිය. දැඩි ලෙස නිර්දේශිත විෂය නිර්දේශ, රීත්යානුකූල හා වෘත්තීය නිපුණතාවය විදහා දැක්වීමට ගුරුවරුන්ගෙන් බොහෝ සේ ලේඛන හා ලියකියවිලි අපේක්ෂා කිරීම, අධ්‍යාපනය සහයෝගාත්මක සහ ගවේෂණාත්මක ක්‍රියාවලියකට වඩා යාන්ත්‍රික ගනුදෙනුවක්ය යන අදහස ශක්තිමත් කිරීම එම වෙනසෙහි ලක්ෂණ වේ. ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳ වර්තමාන උද්යෝගය තුළද අපට මෙය දැකිය හැකිය. බොහෝ දෙනෙකුට ඔන්ලයින් අධ්‍යාපනයට සම්බන්ධ වීමට බාධාවක් වන යටිතල පහසුකම් දුෂ්කරතා අප අමතක කළත්, ඉගැන්වීමේ-ඉගෙනීමේ අත්දැකීම එක රැයකින් අන්තර්ජාල වේදිකාවකට ස්ථානමාරු කළ හැකිය යන අදහසින් පිළිබිඹු කරන්නේ අධ්‍යාපනයේ සාමාජීය වැදගත්කම පිළිබඳ ඇති ඛේදජනක අනවබෝධයයි.

‘විගණන සංස්කෘතිය’ (audit culture) ලෙසද හැඳින්වෙන මෙම නව කළමනාකරණ සංස්කෘතිය විශ්වවිද්‍යාල ජීවිතයටද දැඩි ලෙස බලපා ඇත. එක් ශාස්ත්‍රාලයකට, එක් විෂය ක්ෂේත්‍රයකට හෝ අදහස් කුලකයකට දිගුකාලීනව කැපවීම එන්න එන්නම ජනප්‍රියතාවයෙන් අඩු වෙන අතරම ගුරුවරුන් මෙන්ම සිසුන් ගැනද අනවශ්‍ය ලෙස පරීක්ෂාවෙන් සිටීම, ශාස්ත්‍රීය ශ්‍රමය සුළු කොට තැකීම, සහ ශාස්ත්‍රීය වගකීම නිලධාරීවාදයට යට කිරීමද සිදු වී ඇත.

උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාල ගුරුවරුන් අධීක්ෂණය කිරීම සඳහා කාල පත්‍රිකා හෝ ඇඟිලි සලකුණු ක්‍රමය හඳුන්වාදීමේ අදහස මීට වසර කිහිපයකට පෙර සිතාගන්නවත් නොහැකි වූ දෙයක් අතර මහත් විරෝධයකට තුඩු දෙන කාරණයක් වනු ඇත. එහෙත් අද එයට එරෙහිව විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ලොකු සටනක් කිරීමට සිදුව ඇත. තම ජීවිත කාලයම එක් අධ්‍යයන ක්ෂේත්‍රයක් ප්‍රගුණ කිරීමට කැපකරමින් ඒ නිසාම, ඉගැන්වීමට, ඉගෙනීමට, සහ පොදු කතිකාවට මහඟු වටිනාකමක් ගෙන දෙන ප්‍රකාශනයන් කිහිපයකින් පමණක් දායක වන කථිකාචාර්යවරයින්ට වඩා සුළු පිරිසක් පමණක් කියවන, සුළු පිරිසකට පමණක් ප්‍රවේශය ඇති තුල්‍ය සමාලෝචිත (peer-reviewed) සඟරා වැඩි වශයෙන් ප්‍රකාශයට පත් කරන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයින්ට ඉතාමත් ඉහල තැනක් අද ඇත.

මේ සියල්ල පැන නගින්නේ අධ්‍යාපනය වෙනත් වෙළඳ භාණ්ඩයකට වඩා වෙනස් නොවන අතර වෙනත් වෙළඳ භාණ්ඩයක් මෙන් කළමනාකරණය කළ හැකිය යන අදහසිනි. ඒ අනුව ශිෂ්‍යයන් යනු තෘප්තිමත් කළ යුතු හෝ අවශ්‍යතා සපුරාලිය යුතු සේවාදායකයින් පමණි. මුදල් ගෙවමින් අධ්‍යාපනය ලබන සිසුන්ට සේවාදායකයින් ලෙස 'ඉල්ලීම් කරමින්' (demand) තමන්ගේ අධ්‍යාපනය කෙරෙහි වඩා විශාල බලපෑමක් සිදු කළ හැක. ඔබ යම් දෙයක් සඳහා මුදල් ගෙවන විට, කාලය යන්නට මහත් වටිනාකමක් ඇත. ඒ නිසා අධ්‍යාපනයේ 'අවසාන ඉලක්කය' වන 'සහතිකයක්' ලඟා කරගැනීමට ඇති ඕනෑම බාධාවක් සිතාගන්නටවත් නොහැක. එබැවින් දේශපාලනයේ යෙදෙන, ක්‍රියාකාරී, එසේත් නැතනම් දේශනයන්ට වඩා අනෙකුත් ඉගනීමේ ක්‍රම තෝරාගන්නා සිසුන් දෙස බලන්නේ කෙන්තියකිනි. අධ්‍යයන සාර්ථකත්වය අර්ථ දැක්වෙන්නේ මිනිසුන්ගේ ජීවිත හා අදහස් කෙරෙහි ඇති කරන සැබෑ බලපෑම හා දායකත්වයට වඩා Google Scholar ශ්‍රේණිගත කිරීම් සහ ලකුණුවලට අනුවය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම පිළිබඳ වර්තමාන මහජන විවාදයන් අධ්‍යාපනය සඳහා මුදල් සපයන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට පමණක් ලගු වී තිබීම අවාසනාවකි. වඩාත් විවාදයට ලක් විය යුතු කාරණා වන්නේ පෞද්ගලීකරණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, අප අධ්‍යාපනය තේරුම් ගන්නේ කෙසේද, සහ පුද්ගලයන් වශයෙන් පමණක් නොව සමාජයක් ලෙස අප අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන දේ කුමක්ද යන ප්‍රශ්නය.

විගණන සංස්කෘතිය (audit culture), අධ්‍යාපනික ආයතන ව්‍යාපාරගත කිරීම (corporatisation), ඉගැන්වීමේ-ඉගෙනීමේ අත්දැකීමෙහි සාමාජීය ස්වරූපය අවතක්සේරු කිරීම ලෙස ඉහත දැක්වූ පෞද්ගලිකරණයේ විවධ පැතිකඩ දෙස අධ්‍යානය 'නවීකරණය' කිරීමට අත්‍යාවශ්‍ය, ස්වයංසිද්ධ, නොවැලැක්විය හැකි හේතු කාරණා ලෙස දැකීම කණගාටුදායකය. අද අපට අවශ්‍ය වන්නේ අධ්‍යාපනයේ අරුත හා අගය සහ පොදු භාණ්ඩයක් ලෙස එහි ඇති වටිනාකම ගැන පක්ෂවාදී නොවන තියුණු විවාදයක් මිස පුද්ගල දියුණුව සඳහා වූ මෙවලමක් (එයද විශාල වැදගත්කමකින් යුතු දෙයක් වුවද) ලෙස පමණක් සලකා බලා නොවේ. උත්ප‍්‍රාසාත්මක කරුණ නම්, මා පළමුව සඳහන් කළ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, දෙවැනි කරුණට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම වඩාත් පහසු වනු ඇත.


image credit - The New York Times

ආචාර්ය හරිනි අමරසූරිය