පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල
තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
මුලින්ම කිව යුත්තේ රජයේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී ඇති නීතිඥයෙකු ද වන සුනිල් වටගල මහතා, පොලිස් ආඥා පනත ගැන කිසිදු වැටහීමක් නොමැතිව මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදු කර ඇති බවය. ඔහුගේ තර්කයට අනුව යම් පොලිස් බල ප්‍රදේශයක වැටලීමක් වෙනත් බල ප්‍රදේශයක පොලිසියක් විසින් සිදු කරන්නේ නම්, ඒ සම්බන්ධව අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතුව ඇත. ඒ කුමන නීතියක් යටතේද යන්න එතුමා පැහැදිලි කළ යුතුව ඇත.

වර්තමානයේ බලපවත්වන 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියෙහි පොලිස් නිලධාරියෙකුගේ යුතුකම් සහ වගකීම් ඉතා සවිස්තරව සඳහන් කර ඇති අතර එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ: “සෑම පොලිස් නිලධාරියෙකුම මෙම ආඥා පනත අනුව සෑම විටම රාජකාරියේ යෙදී සිටිය යුතු බවත්, ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකුට හිමි නෛතික බලතල දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ඔහුගේ වගකීමක් විය යුතු බවත්” සඳහන් කර ඇත. මේ අනුව මෙම රැස්වීමේදී වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය නෛතික වශයෙන් වැරදි ප්‍රකාශයක් බැවින් එය කණගාටුවෙන් වුවද බැහැර කළ යුතුව ඇත.
මීට පෙරද අවස්ථාවක එතුමා රජයේ මැති ඇමතිවරුන්ට අපහාස කරන මහජනතාව සම්බන්ධව, ‘දිට්වා’ සුළි කුණාටුව සමයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහජන ආරක්ෂක පනත යටතේ කටයුතු කිරීමේ ඇති හැකියාව සම්බන්ධව පොලිස් නිලධාරීන් දැනුවත් කරනු ලැබූ අතර, එදිනම එම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කළ ගරු ජනාධිපතිවරයා විසින් තම අත්සනින් පනවා ඇති මහජන ආරක්ෂක පනත ‘දිට්වා’ කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදනයන්ගෙන් බැහැරව, වෙනත් කිසිදු මහජනතාව පෙළනු ලබන නීතියක් ලෙස ක්‍රියාත්මක නොකරන බව පැහැදිලිවම ප්‍රකාශ කරන ලදී.
යම් පොලිස් බල ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකු වෙනත් බල ප්‍රදේශයක පොලිස් වසමක යම් රාජකාරියක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැක්වෙන පොලිස්පති චක්‍රලේඛයක් ඇත. මගේ මතකය අනුව මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ 90 දශකයේ අවස්ථා කිහිපයකදී වෙනත් පොලිස් වසමක නිලධාරීන් අදාළ පොලිස් වසමේ ස්ථානාධිපතිවරයා දැනුවත් නොකර එම පොලිස් ප්‍රදේශයේ රාජකාරි කිරීමට යාම හේතුවෙන් අනන්‍යතාව නිවැරදිව හඳුනා නොගැනීම නිසා සිදුවූ වෙඩි තැබීම් කීපයක් සහ සමහර අපරාධ කල්ලි පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවෙස් කොල්ලකෑමේ ප්‍රවණතාවක් හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට හේතු වූ බව සඳහන් කළ යුතුය. එහෙත් චක්‍රලේඛයකට කිසිසේත් ව්‍යවස්ථාපිත නීතියක් අභිබවා යා නොහැකි බව නීතිඥයෙකු ද වන වටගල මහතා හොඳින් තේරුම් ගෙන ඇතැයි සිතමි.

එසේම වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සම්බන්ධ පොලිස් නිලධාරීන් මෙන්ම විශේෂිත අපරාධ විමර්ශන අංශයන්හි නිලධාරීන්, තම විමර්ශනයන්ට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම සැකකරුවන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර යාම සිදු නොකරන බව ප්‍රායෝගික තත්ත්වයකි. ඔවුනට එසේ කටයුතු කළ හැකිව ඇත්තේ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියේ සඳහන් නෛතික බලතල ප්‍රකාරව වන අතර, එය ක්‍රියාත්මක කිරීම “කන්නට හිතන විට කබරගොයා තලගොයා කර ගැනීමේ” න්‍යායෙන් බැහැරව කටයුතු කළ යුතු බව සිහිපත් කරමි. මෙතෙක් චක්‍රලේඛයකට සීමා වී ඇති මෙම තත්ත්වය වෙනස් කළ යුතුව ඇත්නම් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළ යුතුව ඇත්තේ පොලිස් ආඥා පනතට සංශෝධනයක් ගෙන ඒමෙන් එය සිදු කිරීම විනා, වැරදි නෛතික උපදෙස් මත පිහිටා කටයුතු කරමින් ප්‍රසිද්ධ සභාවල පොලිස් නිලධාරීන් මේ ආකාරයට අපහසුතාවට පත් කිරීම නොවේ.
එම අවස්ථාවට මුහුණ දුන් පොලිස් ස්ථානාධිපතිවරයා කෙරෙහි ද මා තුළ ඇත්තේ කලකිරීමකි. මා දන්නා හැටියට වසර විස්සකට වැඩි සේවා කාලයකින් සපිරි එවැනි නිලධාරියෙකු, එම අවස්ථාවේදී පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියේ සඳහන් පොලිස් නිලධාරියෙකුගේ යුතුකම් සහ වගකීම් සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට තරම් ඔහුට කෂේරුකාවක් නොතිබීම ගැන කණගාටු වෙමි.

දේශපාලන අධිකාරිය මේ ආකාරයට පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධ සභාවල අපහසුතාවට පත් කරන අවස්ථා මීට පෙරද අවස්ථා කිහිපයකදී අප විසින් නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන්ම පසුගිය රජය සමයේ ටිරාන් අලස් අමාත්‍යවරයා ද පොලිස්පතිවරයා සමග රට වටා යමින් පොලිස් නිලධාරීන්ට මේ ආකාරයට තර්ජනය කළ අවස්ථා නිරීක්ෂණය වූ අතර, පොලිස් බලය අතට ගෙන කටයුතු කළ එවැනි දේශපාලනඥයින්ට ඉතිහාසය විසින් උරුම කර දී ඇති දේශපාලන කුණුබක්කිය සම්බන්ධව වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ද දැනුවත් කිරීම මේ අවස්ථාවේදී කළ යුතුව ඇතැයි සිතමි.
මෙහිදී අප විසින් වඩාත් සැලකිල්ලට ගත යුතු අනෙක් කාරණය වන්නේ තම පොලිස් ස්ථානාධිපතිවරුන් මේ ආකාරයට මහජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම කෙරෙහි පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් දක්වන්නේ කුමන ආකල්පයක් ද යන්නයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා ද හිටපු පොලිස් නිලධාරියෙකි. මහජනතාව හමුවේ පොලිස් නිලධාරීන්ගේ පෞරුෂය මෙන්ම ගෞරවය ද රැකීමේ වටිනාකම එතුමා වඩාත් හොඳින් දන්නා අයෙකු බව මම විශ්වාස කරමි. එබැවින් මෙම තත්ත්වය ඉදිරියේදී ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු ද වන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙමි.

(සටහන | ප්‍රියන්ත ජයකොඩි)
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
උපුටා ගැනීම - vinivida.lk
theleader.lk