රනිල් කොලම - ඉදිරි දින දහය ඇතුළත රනිල් නැවත ලංකාවට

රනිල් කොලම - ඉදිරි දින දහය ඇතුළත රනිල් නැවත ලංකාවට

සැත්කමින් පසුව මේ වන වන විට රනිල් සම්පූර්ණයෙන් ම සුවය ලබමින් සිටී.

ඔහුට රෝහලෙන් පිටව යෑමට ද වෛද්‍ය අවසරය ලැබිණි. නමුත් රෝහලේ නතර වී තවත් දින කීපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටී. බොහෝ අය රනිල්ට යෝජනා කළේ සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට එන ලෙසයි. සිංගප්පූරුවේ ම විවේක ලබා ගනිමින් ටික කාලයක් ගත කළ යුතු බව සමීපතමයින් ගේ අදහස විය.

 

ආණ්ඩුව විදුලි බිල වැඩි කළ හේතුව

නමුත් රනිල්ගේ දැඩි ස්ථාවරය වන්නේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බවයි. නිවසේ සිට හෝ අදාළ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල් ගේ අදහස යි. ජනතාවට අසීරු කාලයක දී මෙහි සිටිය යුතු බව රනිල් ගේ ස්ථාවරය යි. ඒ අනුව ඉදිරි දින දහය ඇතුළත රනිල් නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

රනිල් ලංකාවෙන් පිටව යාමට පෙර ලබාදුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අදාළ වැඩ කටයුතු දිගටම කරගෙන යමින් සිටී. එහි ප්‍රධානම වැඩ කටයුත්තක් වූයේ ගල් අඟුරු වංචාව පිළිබඳ කොස්ගම දී සංවිධාන කෙරුණු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය යි. එය අති සාර්ථක ලෙස පැවැත්විණි. එහි කැඳවුම් කරු ලෙස ක්‍රියා කළේ මහාචාර්ය පීරිස් ය. එහිදී අදාළ දූෂණය පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කෙරිණි.විශේෂයෙන් චම්පික රණවකගේ අදහස් දැක්වීම පිළිබඳව සියල්ලෝම අදහස් දැක්වූහ. විදුලි බිල කලින්ම වැඩි කිරීමට හේතු වූයේ ගල් අඟුරු වංචාව බව එහි දී  කියැවිණි.

patali

රනිල් ගේ න්‍යාය පත්‍රයේ යෝග්‍යතාව

එමෙන්ම විදුලිය කැපීමට සිදු වන්නේ ද ගල්අඟුරු වංචාව නිසා බවත්, ගල් අඟුරු බාල වීමෙන් ඩීසල් බොහෝ ප්‍රමාණයක් විදුලි උත්පාදනය සඳහා යොමු කිරීමට සිදුවන බව එහි දී විශේෂයෙන් සඳහන් විය. ඒ ප්‍රකාශය කෙරී සතියක් යෑමට මත්තෙන් විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුවට සිදුවිය. ඒ පිළිබඳ පසු විතරමක් නාරාහේන්පිට  පිට පිහිටි ජී. එල්. ගේ නිවසේදී සිදු කෙරිණි. කොස්ගම සම්මන්ත්‍රණය ගැනත් ඉදිරි පියවර ගැනත් එහිදී සාකච්ඡා විය. එජාපය වෙනුවෙන් වජිර, තලතා, සාගල ඊට සහභාගී වූහ. සෙසු පක්ෂ නියෝජිතයෝ ද එහි පැමිණ සිටියහ.

කෝස්ගම සම්මන්ත්‍රණයේ සාර්ථක බව නිසා ඉදිරියට ද හිටපු ජනාධිපතිවරයා ලබා දුන් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ඉතා යෝග්‍ය බව මහාචාර්ය ජී. එල්. මෙහි දී දැනුම් දුන්නේ ය.තමාට රනිල් සමග සාකච්ඡා කිරීමට කරුණු කිහිපයක් තිබෙන බවත්, වෙලාව පැමිණි විට ඒවා සාකච්ඡා කර දැනුම් දෙන බවත් ජී. එල්. එහිදී සඳහන් කළේ ය.

නීතිඥ සංගමය ජී.එල්. හමුවුණේ ඇයි...?

ඊට පසුව සිදුවූ ලොකුම කතාබහ වූයේ අග්‍ර විනිශ්චකාරවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ රජයේ අවශ්‍යතාව සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ම ජී.එල්. පීරිස්ට කරුණු ඉදිරිපත් කළේ ය.

"සර්... හැකි ඉක්මනින් මේ ගැන ප්‍රකාශයක් කරන්න. ඊට පස්සේ අපටත් මේකට අවතීර්ණ වෙන්න පුළුවන්," යනුවෙන් ඔවුහු සඳහන් කළහ. නීතිඥ සංගමයේ අදහස වූයේ ඔවුන් මැදිහත් තැනක සිට ප්‍රකාශයක් කරන බවයි. ඒ අනුව ජී.එල් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂයට කතා කළේ ය.

ඒ අනුව විජයදාස බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් කැඳවා මේ ගැන කතා කිරීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් විය. එන්.එම්. පෙරේරා ශාලාවේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට ද යෝජනා කෙරිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැඳවන ලද පළමු මාධ්‍ය හමුව මෙයයි. එතැනින් ආරම්භය ගෙන වෙනත් සංවිධාන ද මීට එකතු වීමට නියමිත ය.


විපක්ෂයේ බොහෝ නායකයින් බන්ධනාගාරයට...?

එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජී.එල්., සිදුවීමට ඇති අනතුර ගැන කරුණු පැහැදිලි කළේ මෙසේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන් ගේ සේවා කාලය වසර දෙකකින් දිගු කිරීමට රජය තීරණය කර තිබෙනවා. වත්මන් අගවිනිසුරුට ධුර කාලය තවත් වසර දෙකක් ලබාදීම මෙම ප්‍රයත්නයේ මූලික අරමුණයි. මේක ඉතා භයානක තත්ත්වයක්. ඔවුන්ට වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව සහ අග්‍ර විනිශ්චකාරවරයා අතර සම්මුතියක් තිබෙනවා. 65 දී විශ්‍රාම ගැන්විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා. මේ අය හදන්නේ තවත් වසර දෙකකට සේවය දීර්ඝ කරන්න. ඒ කාලයේ දී විපක්ෂයේ බොහෝ නායකයින් බන්ධනාගාරගත කිරීමේ මර්දනකාරී වැඩපිළිවෙළක අඩිතාලමක් දැමීම  මෙයින් සිදුවෙනවා.

මෙලෙස සේවා දිගුවක් ලබා දීම අයහපත් පූර්වාදර්ශයක් බව නීති විශාරදයන්ගේ මතයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම විනිශ්චයකාරවරුන් ගේ සේවා කාලය පිළිබඳව නිශ්චිතව දක්වා තිබෙනවා. නීතියේ මූලික සිද්ධාන්තය වන්නේ සමානතාව යි. ඉහළ උසාවිවල ස්වාධීනත්වය පිළිබඳව සමාජයේ ඉහළ පිළිගැනීමක් පැවතිය යුතුයි. පුරවැසියා සහ පුරවැසියා අතරත් රජයට එරෙහිව පුරවැසියා අතර නඩු අහන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවෙනවා. මෙලෙස වසර දෙකකින් ධුර කාලය දිගු කිරීම නිසා සම්පූර්ණ වාසිය ලැබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ටයි. එවිට ඔවුන් ගේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සම්බන්ධයෙන් ජනතා මනසේ යම්කිසි සැක සංකාවක් ඇතිවිය හැකියි."

ගල් අඟුරු හොරකමේ බරත් මහජනයා මත

රනිල් රටින්  පිටවීමට පෙර දුන් උපදෙස් අනුව බදාදා නිපොන් හෝටලයේ දී ඒකාබද්ධ විපක්ෂ එක් වී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එය සංවිධාන කිරීමට මූලිකත්වය ගත්තේ එජාප සභාපති වජිර යි. සෙසු පක්ෂ නායකයෝ ගණනාවක් ඊට සහභාගී වූහ. සිංහල අවුරුදු සමයේ ජනතාවට ජීවත් වීමට තිබෙන අසීරුතා පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් විය.

 

pataliiii

විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ ආණ්ඩුවේ ගල් අඟුරු  වංචාව නිසා බව පාඨලී එහි දී කී ය. එළඹෙන අවුරුදු සමය මහජනතාවට නම් සුබ අලුත් අවුරුද්දක් නොවනු ඇතැයි ඔහු එහි දී සඳහන් කළේ ය.

''ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා දැමීමේ නායකත්වය ගත්තෙත් අනුර කුමාර ජනාධිපතිතුමා. ඒ සමාගම්වලින් ඉවත් වීමට දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී තිබෙනවා. මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් ඉදිරිපත් වී තිබුණා. එය මහජන උපයෝගීතා කොමිසම සැලකිල්ලට ගෙන තිබෙනවා. එය මෙවර විදුලි ගාස්තු වැඩි වීමට එකතු කර නැහැ. ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා. නමුත් ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ කාරණය කවුරුත් දන්නවා. කර්මාන්ත වලට විදුලි බිල 8.7 කින් වැඩිකර තිබෙනවා. සියලුම බිල් වැඩිවීම තුළ කර්මාන්ත ක්ෂේත්‍රයට දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි. මේ විදුලි බිල වැඩි පිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට විදුලි බල මණ්ඩලය අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ පෙබරවාරි මාසයේ. ගල් අඟුරු හොරකමේ බරත් මේ විදුලි බිල වැඩි කිරීමේ දී මහජනයා මත පටවා තිබෙනවා.

විශාල නියඟයක් ළඟ එන බවත් ජුනි- ජුලි වන විට එය උග්‍ර වන බවත් ආණ්ඩුවේ මාධ්‍ය ඒකක මතයක් හදමින් සිටිනවා. මොකද ගල් අඟුරු සොරකම නිසා ලයිට් කැපෙන්න නියමිතයි. ඒ ලයිට් කැපීම වහන්න දැන් නියඟය කරළියට ගේන්න උත්සාහ කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ වැසි තත්ත්වය සාමාන්‍ය බවයි. 2025 වසරේ තිබුණාට සමාන කාලගුණ තත්ත්වයක් 2026 වසරේ දී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අනුර කුමාර දිසානායක ගේ මාධ්‍ය බලකායේ ප්‍රකාශයකට මහ ජන උපයෝගීතා කොමිසම හොඳ උත්තරයක් ලබා දී තිබෙනවා.


අගෝස්තු මාසයේ දී විදුලි කප්පාදුවක්

2025 වසරේ අපි එපා කියද්දි අනුර දිසානායක බලෙන් විදුලි ගාස්තු වැඩි කෙරෙව්වා. එයින් මිලියන හයදහස් ගණනක අයථා ලාභයක් ලබාගෙන තිබෙනවා.

විදුලි බල මණ්ඩලය කොම්පැණි හතරකට කැඩූ පසු ජනන සමාගම පවසා තිබෙන්නේ බාල ගල් අඟුරු සිද්ධිය නිසා වැඩියෙන් ඩීසල් පාවිච්චි කරන්නට සිදු වීමෙන් පෙබරවාරියේ දුන් පුරෝකථනය හරියන්නේ නැති බවයි. නව පුරෝකථනයක් ලබාදිය යුතු බවත් ඔවුන්  සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ නැවත විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම අනුර දිසානායක ජනාධිපතිවරයා සකසමින් සිටිනවා. එමෙන්ම බාල ගල් අඟුරු සිද්ධිය නිසා අගෝස්තු මාසයේ දී විදුලි කප්පාදුවක් කරන්නට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබෙනවා.මේකෙ වගකීම ගන්නෙ කවුද?

ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 143 ක අධික මුදලකට  මිලදී ගෙන තියෙනවා. ගල් අඟුරු මිලදී ගැනීමෙන් සිදුවන පාඩුව රුපියල් බිලියන 10 කට වඩා වැඩියි. අපේක්ෂිත නැව්ගත කිරීම් මෙම මස අගදී පැමිණියත් විදුලි කප්පාදුව වළක්වන්නට හැකියාවක් නැහැ. විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සහ විදුලි කප්පාදුවේ සැබෑ හේතුව වසන් කිරීම සඳහා ජල විදුලිය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම මුළු ධාරිතාවෙන් සියයට 50 ක මට්ටමක තබා ගෙන සිටිනවා. ඉන්ධන සඳහා බදු අඩු කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළා. පොදු ප්‍රවාහනය නොමිලේ සැපයීමට ඕස්ට්‍රේලියාව කටයුතු කළා. ශ්‍රී ලංකා රජය ද ජනතාව වෙනුවෙන් එවන් සහන ලබා දිය යුතුයි,'' යනුවෙන් චම්පික එලෙස දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේ ය.

මෙහි දී දයාසිරි කීවේ සමහර ප්‍රදේශ වල නිවේදනය නොකළ විදුලි බිඳවැටීම් සහ ජල කප්පාදුව දැනටමත් ක්‍රියාත්මක බවයි.

රාජිත සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරීම, ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සහ ඉන්ධන සහ ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාවට සෑම පැත්තකින් ම පහර වැදී ඇති බවයි. හිටපු කතා නායක මහින්ද යාපා වජිර අබේවර්ධන, ලසන්ත අලගියවන්න  ඇතුළු පක්ෂ නායකයෝ මීට සහභාගී වූහ.

 


පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම ඉමිතියාස්

නිකුත් සතියේ දී කාගේත් අවධානයට ලක් වූ පොත් දෙකක් දොරට වැඩීමේ උත්සව පැවැත්විණි.

පළමුවැන්න තිබුණේ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීය. ඒ ඉමිටියාස් බාකීර් මාකර් රචනා කළ "මා අකමැතිව සිටි ජේ.ආර්" කෘතිය දොරට වැඩීමේ අවස්ථාවයි. පක්ෂ බේදයකින් තොරව මහජන නියෝජිතයෝ හැම කෙනෙක් ම එම උත්සවයට සහභාගී වූහ. එහි දී ප්‍රධාන දේශන දෙකක් පැවැත්විණි. සියලු පක්ෂ නියෝජිතයෝ එහි දී ඉමිතියාස්ට සුබ පැතූහ. එහි දී දේශනයක් කළ ආචාර්ය රංග කලංසූරිය දෙසුම අවසන් කළේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයැයි කියන ඉමිතියාස් ද  අද පාර්ලිමේන්තුවේ නැති බවයි.

උදය ගම්මන්පිල ලියූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කෘතිය ද සමාජයේ දැඩි කතා බහට ලක්විය. එම පොත එළිදැක්වීම සිදු කෙරුණේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී ය. එය ඉතා සාර්ථක උත්සවයක් විය. විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ. ඊට ලැබුණු දායකත්වයට ගම්මන්පිල ද සිටියේ බොහෝ සතුටිනි. මහා සංඝරත්නය ඇතුළු ශාලාව පිරෙන්නම සෙනඟ එහි පැමිණ සිටියහ. ඊට හිටපු ජනපතිවරු තිදෙනෙක් සහභාගී වූහ. ඒ මහින්ද, මෛත්‍රීපාල සහ ගෝඨාභය යි.

pror

සාම වැඩ පිළිවෙළ විවේචනය කළ ආරක්ෂක ප්‍රධානියා

ගම්මන්පිල ගේ මතය අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව සඳහන් කෙරිණි.

හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් මෙහි දී  කළ කතාවක් නිසා  ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය. ඊට හේතු වූයේ ඔහු, රනිල් ගේ නායකත්වය යටතේ 2002 දී ක්‍රියාත්මක කළ සාම වැඩ පිළිවෙළ එහි දී විවේචනය කිරීමයි. මේ විවේචනය ගැන ආන්දෝලනය එහි දී දැඩිව ඇති විය. සමාජ මාධ්‍යයේ ද මේ අදහස් ගැන ගැටුම්කාරී මතවාද බොහෝ පළ වන්නට පටන් ගත්තේය. මේ වන විට සජබ නියෝජනය කරන අයත් ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළ අයයි.

"සාම ක්‍රියාවලිය කියන්නේ අපි හැමෝගෙ ම එකඟතාවය අනුව ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙළක්" බව සජබ, නියෝජනය කරමින් එහි පැමිණි අය ගේ ද මතය විය. මේ ගැන සභාපති වජිර සහ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සාගලටත් දිගින් දිගට ම ඇමතුම් ලැබුණු අතර ඔවුහු ඇත්ත තත්ත්වය ඉදිරිපත් කළහ.

මේ අවස්ථාවේ දී සභාපති වජිර, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්‍ෂ ශානුක කරුණාරත්න යන අය ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කළහ. සමාජ මාධ්‍යවල යන මතය ගැනත් එහි දී සාකච්ඡා විය.

සාම ගිවිසුමෙන් වාසි වුණේ ම නැද්ද...?

වජිරගේ අදහස වූයේ මෙය එක්සත් ජාතික පෙරමුණ රජයක් ලෙස ආරම්භ කළ විශාල ව්‍යාපෘතියක් බවයි. විශේෂයෙන් ම එවකට ඡන්දයට පෙර රනිල් පැහැදිලිව ම සඳහන් කර තිබූයේ සාම ක්‍රියාදාමයකට යන බවයි.මේ සාම ක්‍රියාදාමය ක්‍රියාත්මක කළේ ඒ අනුවයි. ඒ සඳහා එවකට එක්සත් ජාතික පක්ෂයේ සිටි අය මෙන්ම සියලු හවුල් සංවිධාන පෙනී සිටින බව ද වජිර කීය. මෙම සාම ක්‍රියාදාමය රජයක් ලෙස සියලු අමාත්‍යවරු ඇතුළු පාර්ශ්ව අනුමත කළ ක්‍රියාදාමයක් බවත් මෙහි දී කරුණු සඳහන් කෙරිණි.

 

wajira

අදාළ හිටපු ආරක්ෂක ප්‍රධානියා ගේ කතාවේ දී සාම ගිවිසුමෙන් ලැබුණු වාසි පිළිබඳ කිසිම සඳහනක් නොවිණි. ටෝකියෝ ආධාර සමුළුව යටතේ රුපියල් කෝටි හතළිස් පන්දහසක් ශ්‍රී ලංකාවට ලැබිණි. ඒ වන විට ඍණ තත්ත්වයක තිබූ ආර්ථිකය ධන අගයකට ගෙන ඒම සඳහා එය විශාල උපකාරයක් විය. එමෙන්ම නැගෙනහිර පළාත ම පාලනය කළ එල්.ටී.ටී.ඊ නියෝජ්‍ය නායක ලෙස සිටි කරුණා අම්මාන් උපක්‍රමශීලීව බිඳ දමන්නට හැකි වූයේ මේ සාම වැඩපිළිවෙළ නිසාය. එදා ඇතැම් පාර්ශව සාම ක්‍රියාවලියට විරුද්ධ වුණත් එක්සත් ජාතික පක්ෂයේ මතය වූයේ ජාතික  අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ සාම ක්‍රියාදාමයක් හරහා බවයි. 2002 වසරේ එක්සත් ජාතික පෙරමුණු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සාම ක්‍රියාදාමයකට යන බවට වන කරුණ සඳහන් කර තිබිණි. මැතිවරණයේ දී එම කාරණයට ජනතා අනුමැතිය ද ලැබිණි.

ඒ නිසා මේ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ අදහස් පිළි නොගන්නා බවත් සති අන්තය වන විට එක්සත් ජාතික පක්ෂයේ මතය ප්‍රකාශ කරන බවත් වජිර දැනුම් දුන්නේය. සමාජ මාධ්‍ය ඔස්සේ ද එක්සත් ජාතික පක්ෂයේ මේ පිළිබඳව මතය එළිදැක්වීමට තීරණය විය.

 

newstube.lk 

Search