මහේස්ත්‍රාත්වරුන් කැඳවා තීන්දු දෙන හැටි උගන්නන්න, අධිකරණ සේවා කොමිසමට තියන අයිතිය මොකද්ද ?

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කැඳවා තිබූ සම්මන්ත්‍රණයකදී සමස්ත රට පුරාම මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන මහේස්ත්‍රාත්වරුන් වෙත බලපෑම් සිදුකර ඇති බව ජාතික ජන බලවේගයේ නායක,

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. මෙය අධිකරණයට සිදුකළ බලපෑමක් පමණක් නොව වක්‍ර ලෙස සිදුකළ තර්ජනයක් ලෙස සැලකිය හැකි බවද දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මේ බව සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීම මහේස්ත්‍රාත්වරුන්ට අනිවාර්ය බවත්, සහභාගි නොවන මහේස්ත්‍රාත්වරුන්ට උසස්වීම් ලබාදීමේදී සහ විදෙස් සංචාරවලදී ගැටලු මතුවිය හැකි බවත්, අධිකරණ සේවා කොමිසම විසින් ලිඛිතවම දන්වා තිබූ බවද ඔහු සඳහන් කරනවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණවල කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සම්මන්ත්‍රණයට සහභාගි වූ මහේස්ත්‍රාත්වරුන්ට, අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු අධිකරණ සේවා කොමිසමේ තර්ජනවලට හා බලපෑම්වලට ලක්වීමට සිදුව ඇති බවද අනුර දිසානායක මහතා අවධාරණය කරනවා.

විශේෂයෙන්, පසුගිය කාලයේදී පැවති උද්ඝෝෂණවලට එරෙහිව තහනම් නියෝග ලබා දෙන්නැයි පොලීසිය සිදුකළ ඉල්ලීම් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක් විසින් ප්‍රතික්ෂේප කර තිබීම අදාල සම්මන්ත්‍රණයේදී බරපතල ලෙස විවේචනය කර ඇති බවත්, එවැනි නියෝග ලබාදීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳව දැනුවත් කරමින් පොලීසියට අවශ්‍ය ආකාරයට නියෝග ලබාදීමට බලපෑම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

 

Search