ලොක්කා නග්ගන්න අපිට ගහන්න එපා - මෛත්‍රීගෙන් මහින්දානන්දට තරවටුවක් (VIDEO)

ඉකුත් වසරවල ජනපති වැය ශීර්ෂය සංසන්දනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ

විවේචනාත්මක ප්‍රකාශයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) පාර්ලිමේන්තුවේදී අවවාදාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූයේය.

 

"මටත් අයිතියක් තියෙනවා කථානායකතුමනි හිටපු ජනාධිපති විදියට මාව එල්ල කරලා යම්කිසි දෙයක් කියනවා නම්, එයට පිළිතුරු දෙන්න. අපි නම් ගැහුවොත් ගහන්නේ නෑ. ගැහුවොත් අනුකම්පා කරනවා. ගහගන්න ජාතියේ මිනිස්සු නෙමෙයි අපි. අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙමෙයි ගහන්නේ වෙන විදියකට. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය අරගෙන ජනතාවට දෙන්නේ මම අනවශ්‍ය වියදම් කළා කියලා. එක එක වැය ශීර්ෂ කිහිපයක් මගේ කාලේ ඒවා කිව්වා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමන් බිමන් ගියපු හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙළිකොප්ටර් පාවිච්චි කරපු හැටි, ඒවාට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා.

ඔය ගහගන්න ගියොත් .... කිව්වානෙ ඕනෙ ගහගමු, ගහගන්න අපිත් එන්නම් කිය කියා - ගහගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්.

1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන ඒ පක්ෂවල සහයෝගය අතරමග කඩාගත්තා. බණ්ඩාරනායක මැතිණියගෙ ආණ්ඩුව 64. බණ්ඩාරනායක මැතිණියගෙ ආණ්ඩුව 75. ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගෙ හයෙන් පහේ ආණ්ඩුව ජනමත විචාරණයක් තියලා දික්කරගන්න ගිහිල්ලා ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අදවෙනකලුත් එජාපයට නැගිටින්න බැරිවෙන තැනකට ආවා, චන්ද්‍රිකා මැතිණියගෙ කාලෙ කට්ටියක් කඩාගෙන ගියා, 2014 මම සාධාරණ හේතූන් උඩ ඒ ආණ්ඩුවෙන් අයින් වෙලා පොදු අපේක්ෂකයා විදියට තරග කෙරුවා. ඒ ආණ්ඩුව පරාජය වුණා. ඒ නිසා මේ තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹූරින් සහ සංකීර්ණව හා බුද්ධිමත්ව හිතන්න ඕනේ. මීට වඩා බහුශ්‍රැතව හිතන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍ර‍ීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ගහගත්තාම තියෙන ප්‍රතිඵලය මීට පෙර පැවති ආණ්ඩු අවුරුදු 50 - 60ක කාලය තුළ ඔප්පු කරලා තියෙනවා ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තාම මොකද වෙන්නේ කියලා.

අද මේ ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. පොදුජන පෙරමුණ සහ මිත්‍ර පක්ෂ 11 එකතුවුණ ආණ්ඩුවක් මේක. අතීතය සාක්කි දීලා තියෙනවා සන්ධාන ආණ්ඩුව ගහගත්තාම මොනවද වෙන්නෙ කියලා. ඒ නිසා අපිටත් බොහෝම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට ගහ ගන්න බැහැ අපි හරිම අහිංසක මිනිස්සු. මහින්දානන්ද ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දුමින්ද දිසානායක ඇමතිතුමා එක්ක කියලා තිබුණා, දුමින්ද දිසානායක ඇමතිතුමා මට හවස කිව්වා, දුමින්ද ඇමතිතුමා ඇහුවලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් "මොකද් මේ වාහන පාවිච්චි කළා කියලා මේවා මේ වැඩක් නැති දේවල් නේ" කියලා. එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තියෙන පිළිතුර තමයි දන්නේ නැද්ද දුමි අපි අපේ ලොක්කා නග්ගන්න මොනවා හරි කියන්න එපැයි කියලා. ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන ක්‍රම ඕන තරම් තියෙනවා නේ. අපිත් ඒ ලොක්කා එක්කනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලි ලෙස ආණ්ඩු පක්ෂය තුළ ප්‍රශ්න හදාගන්නේ නැතුව කටයුතු කරන්න. අපි ඒ මිත්‍රත්වය තියා ගමු. අපි පහළට වැටෙන්න ඕනේ නෑ. මහින්දානන්ද ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක් දයාසිරි ජයසේකර මහත්තයා හිටපු මහඇමතිවරයෙක් ඒ නිසා අපේ මට්ටම්වලට ගැළපෙන විදියට කටයුතු කරමු."