පාස්කු ප්‍රහාරය ඡන්දය දිනා ගන්න කළ කුමණ්ත්‍රණයක් - කාදිනල් හිමිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් (VIDEO)

ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් පවතින බව කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පවසනවා.

 

උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙම ප්‍රහාරයට දින 1000ක් සපිරෙන අද දිනයේ රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණු ජාතික මට්ටමේ දේවමෙහෙයක දී ය.

"මට කියන්න තියෙන්නේ දුක් විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත කියලා. අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් තියෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි. ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අපි හැමෝටම පෙනෙන්න පටන් අරන් තියෙනවා. අපේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය යටගහන්න හැදුවත් ජනතාව දවසින් දවස බලවත් වී පාලකයින් දවසින් දවස අවුල් සහගත තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි."

"ඒ නිසා කවුරු කවුරුත් අපිව යට කරන්නට, අපට වුන දේ ඉතිහාසයෙන් මකා දමන්නට කොච්චර උත්සහ කරත් එය හරියන්නේ නෑ. බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි. නමුත් දැන් පත්තුවෙන බෝම්බය නම්, ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යටගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සහ කෙරුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ. ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සහ කළා ද. ? එහෙත් එහෙම කරන්න ඒ යට පුළුවන් වුනාද ? යටගහන්න හදන තරමටම එය මතුපිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියල පැහැදිළියි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කළින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩදීලා. අනිත් පැත්තෙන් එය වැලක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා. සමහර නායකයන්ට ඕන කලේ දේශපාලන වාසි ලබාගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නැයි කියල දැන් පැහැදිළි වෙමින් තියෙනවා."