පෙරටුගාමීන් TNA සමග සාකච්ඡා අරඹයි (VIDEO)

රටේ වත්මන් දේශපාලන, ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමල ජාතික සන්ධාන නියෝජිතයින් අතර

විශේෂ හමුවක් ඊයේ (18) පවත්වා තිබෙනවා.

වැල්ලවත්ත, දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයේදී පැවති මෙම හමුවේ දී ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වඩාත් සාධනීය තත්ත්වයක් අත්පත් කරගැනීමේ නිදසුනක් වන, දැනට ක්‍රියාත්මකව ඇති ජන අරගලය තුලින් ප්‍රකාශයට පත්ව ඇති ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම ඇතුළු තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කැටිකොටගත් නව ජනතාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි හදිසි ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇත.

පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් එහි නායක කුමාර් ගුණරත්නම්, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්දිරන් හා රාසමානික්කම් ශානක්කියන්
ඊට සහභාගීවී තිබුණි.

ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාමාර්ග, ආණ්ඩුව විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව මුදා හරින මර්දනය සම්බන්ධ වැඩපිළිවෙළ හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වාමාංශික පක්ෂ ගණනාවකට මැයි 14 වැනිදා ආරාධනා කර තිබිණ.