මහ බැංකුව එපා කියද්දී භාණ්ඩාගාරය 2.5 mil. USD ක් වංචාකරුවන්ගෙන්ම තහවුරු කරගෙන ගිණුමට දාලා..- COPF වාර්තාව මෙන්න..

මහ බැංකුව එපා කියද්දී භාණ්ඩාගාරය 2.5 mil. USD ක් වංචාකරුවන්ගෙන්ම තහවුරු කරගෙන ගිණුමට දාලා..- COPF වාර්තාව මෙන්න..

ඕස්ට්‍රේලියාවේ 'Export Finance Australia' (EFA) ආයතනය වෙත ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ස්වෛරී ණය මුදලක් සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් නිකුත් කළ වාර්තාව මගින් අතිශය කම්පන සහගත තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ගිණුම් තොරතුරු සැකසහිත බවටත්, මුදල් විශුද්ධිකරණ අවදානමක් පවතින බවටත් මුදල් අමාත්‍යාංශයට පැහැදිලිව අනතුරු අඟවා තිබියදී වීම විශේෂත්වයකි.Business & Personal Listings

වාර්තාවට අනුව, 2025 නොවැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. එහිදී පෙන්වා දී ඇත්තේ ඕස්ට්‍රේලියානු ආයතනයකට ගෙවිය යුතු මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින ගිණුමකට බැර කිරීමට ඉල්ලා තිබීම අතිශය සැකසහිත බවයි. එම ලිපිනයන් එකිනෙකට නොගැළපෙන බැවින්, ණයහිමියා සමඟ සෘජුව සම්බන්ධ වී ගිණුම් විස්තර නැවත තහවුරු කරගන්නා ලෙස මහ බැංකුව උපදෙස් දී තිබුණි.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් ඕස්ට්‍රේලියාවේ සැබෑ ණයහිමියා දුරකථනයෙන් හෝ නිල රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා සම්බන්ධ කරගැනීම වෙනුවට, වංචාකරුවන් විසින් එවන ලද ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපිනයටම පණිවිඩයක් යවා බැංකු තොරතුරු විමසා ඇත. එහිදී වංචාකරු විසින්ම එම තොරතුරු නිවැරදි බවට ලබා දුන් තහවුරු කිරීම නිලධාරීන් විසින් පිළිගෙන ඇති බව කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.

මෙම වංචාවේදී සයිබර් අපරාධකරුවන් විසින් 'Mish Global LLC', 'LMH Global LLC' සහ 'Sifra Watan Project Management Services' යන ව්‍යාජ ආයතන නාමයන් භාවිතා කර ඇත. මෙම සෑම ආයතනයක්ම ඕස්ට්‍රේලියාවේ අපනයන ණය ඒජන්සිය ලෙස පෙනී සිට ඇති අතර, අබුඩාබිහි බැංකු ගිණුම් වෙත මෙම මුදල් බැර කරවාගෙන තිබේ. රජයේ මුදල් මෙවැනි පෞද්ගලික සමාගම් නාමයන් සහිත ගිණුම්වලට බැර කරන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමට හෝ අවම වශයෙන් එම ආයතන නාමයන් ගළපා බැලීමට පවා නිලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

මෙම සිද්ධියේ වඩාත්ම බරපතළ කරුණ වන්නේ, 2026 ජනවාරි මස මුල් සතියේදී ඉන්දියාවේ එක්සිම් බැංකුවට සිදු කිරීමට ගිය ගෙවීමක් වංචනික විය හැකි බවට ජේ.පී. මෝර්ගන් බැංකුව අනතුරු ඇඟවීමයි. ඉන් අනතුරුව මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදීත්, ජනවාරි 20 වැනිදා 'Mish Global LLC' වෙත තවත් ඩොලර් 997,799ක මුදලක් ගෙවීමට නිලධාරීන් කටයුතු කර තිබේ. මෙය පද්ධතියේ පවතින බරපතළ නොසලකා හැරීමක් බව කාරක සභාව අවධාරණය කරයි.

ණය වාරික ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සැබෑ ණයහිමියා (ඕස්ට්‍රේලියාව) විමසීම් කරද්දී, අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සම්පත් හිඟය නිසා ගෙවීම් ප්‍රමාද වූ බවයි. එහෙත් ඒ වන විටත් රජයේ මුදල් වංචාකරුවන්ගේ ගිණුම් වෙත බැර වෙමින් තිබූ බව වාර්තාව පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශය විසින් 2016 වසරේ නිකුත් වූ, යාවත්කාලීන නොකළ 'Microsoft Exchange Server 2016' පද්ධතියක් භාවිතා කිරීම මෙම සයිබර් ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් වී ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SL-CERT) විසින් මීට පෙර අනතුරු ඇඟවීම් කර තිබුණද, පද්ධති යාවත්කාලීන කිරීමට පියවර ගෙන නොතිබුණි.

මෙම මහා පරිමාණ මූල්‍ය හානිය සම්බන්ධයෙන් වහාම ජාතික විගණන කාර්යාලය හරහා විශේෂ විගණනයක් සිදු කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට නිර්දේශ කර ඇත. එමෙන්ම, 1992 වසරෙන් පසු යාවත්කාලීන කර නොමැති රජයේ මුදල් රෙගුලාසි වහාම සංශෝධනය කළ යුතු බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Search