අර්බුදයට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ බැසිල් - 43 සේනාංකය (VIDEO)

අද අප අත්විඳින බරපතල ආර්ථික තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව 43 සේනාංකය පවසනවා.

 

එසේම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ක්‍රමය, පාර්ලිමේන්තු දේශපාලනය යටිකූට්ටු අරමුණු සඳහා පාවිච්චි කිරීමට හැකි යයි සිතන්නේ නම් එය වැරදීමක් බව 43 සේනාංක නීති ලේකම් සහ විදේශ කටයුතු සබදතා ලේකම්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අනතුරු අඟවා සිටියේ ය.

"ඒ වගේම අපි බැසිල් රාජපක්ෂ මහත්මයාට අනතුරු අඟවනවා. ඔහුගේ කණ්ඩායම හිතනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ක්‍රමය, පාර්ලිමේන්තු දේශපාලනය ඔවුන්ගේ යටිකූට්ටු අරමුණු සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා රූකඩ හැටියට පාවිච්චි කරනවයි කියලා හිතනවා නම් ඔබට වැරදිලා.

විසිඑක්වෙනි සංශෝධනය සම්මත කරගන්නට බැරි උනොත් එහි සම්පූර්ණ වගකීම් මං හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාම ගන්න ඕන ඒක පක්ෂයක් හැටියට නෙමෙයි අපි කියන්නේ ඒ සම්පූර්ණ වගකීම හා දෝෂාරෝපණය බැසිල් රාජපක්ෂ මහතා විසින්ම දැරිය යුතුයි කියලා.

අපේ නීතියේ අර්ථයක් තියෙනවා බිරිඳ කොතනද, නිවස එතනය කියලා. දැන් බැසිල් මහත්තයාගේ බිරිඳ ඉන්නේ ඇමරිකාවේ. නිවස තියෙන්නෙත් එහේ. දැන් ලංකාවේ මේ පුරවැසියොත් එක්ක මේ කරන සෙල්ලම බැසිල් මහත්තයා නවත්තන්න ඕනේ. බැසිල් මහත්තයා පරාජය වෙලා ඉවරයි දේශපාලනිකව. ඒ පරාජය පහුගිය කාලේ අත්වින්දා. ඉතින් ඒක දැක දැක නැවතත් අපේ මේ රට මේ රටේ ජනතාවගේ දෛවයත් එක්ක සෙල්ලම් කරනවා නම් ඒක ඉතා බරපතළ වරදක් හැටියටයි අපි දකින්නේ.

ඒ වගේම මේ බරපතල තත්වයට අද අපේ අත්විඳින බරපතල ආර්ථික තත්වයට ගොදුරු කරේ බැසිල් රාජපක්ෂ මහත්මයා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ගෝලබාලයෝ ගැන කතා කරනවා, කබ්රාල්ලා ගැන, පී. බී. ජයසුන්දරලා ගැන, ඒ වගේම ආටිගල ලා ගැන කතා කරනවා.

අපි හරි හෙමින් තමයි බැසිල් රාජපක්ෂ ගැන කතා කරන්නේ. ඒකත් කියන්නේ කපුටා කියලා. කපු නෙවෙයි. අපි කියන්නේ බැසිල් කියලා. ඒ බැසිල් ඒ වගකීම දරන්න ඕන මේ රටේ මේ දෙදාස් දහනමයේ ඉඳලා අද වෙනකන් අපි ඇති කරගෙන තියෙන අගාධයට.

ඉතින් ඒ අගාධයට නොතකා නැවත වරක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිලි කරන්නට බැසිල් රාජපක්ෂ මහත්තයා හිතනවා නම් අපි කියනවා අපි ඒකට උත්තර දෙන්න සූදානම් කියලා."