LTTE සිරකරුවන් නිදහස් කරන්නයි ජනාධිපති කොමිසමකින් නිර්දේශයක් ! (VIDEO)

සිදු කර ඇති වරදේ බරපතළකම නොසළකා උතුරේ යුද්ධයට සම්බන්ධ වූ සිංහල - දෙමළ ආදී සියලු සිරකරුවන් සමාජ අන්තර්ග්‍රහණ සහ පුනරුත්ථාපන

ක්‍රියාවලියකට යටත්ව පොදු ජනාධිපති සමාවක් මගින් මුදාහැරීමට කටයුතු කරන්නැයි ජනාධිපති කොමිසමක් විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

එවැනි නිර්දේශයක් ලබාදී ඇත්තේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.

'එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්‍යසාධක බලකායෙහි' අවසාන් වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපතිවරයාට භාරදුන් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

කාන්තා අයිතිවාසිකම්හී පටන් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් දක්වා පුළුල් පරාසයක අයිතිවාසිකම් පිළිබදව එම කොමිසම් වාර්තාවෙන් සාකච්ඡා කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 'එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය' පිහිටුවනු ලැබිය.

theleader.lk


VOICE TUBE VIDEOS