ප්‍රචණ්ඩත්වයට විසඳුම හදිසි නීතිය නෙමෙයි - නාලක ගොඩහේවා (VIDEO)

හදිසි නීතියට අපි විරුද්ධ වන්නේ ප්‍රචණ්ඩත්වයට මෙන්ම මර්දනයට ද අපි විරුද්ධ නිසා බවත් ප්‍රචණ්ඩත්වයට විසඳුම හදිසි නීතිය නොවන බවත් පාර්ලිමේන්තු

මන්ත්‍රී නාලක ගොඩහේවා පවසයි.

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"හදිසි නීතියට අපි විරුද්ධ ඇයි ? ඒ ප්‍රචන්ඩත්වයට මෙන්ම මර්ධනයටත් අපි විරුද්ද නිසායි. රටේ ව්‍යවස්ථාව ඉරා දමා ඔවුන්ට අවශ්‍ය ලෙස රට පාලනය කල යුතුයි කියනා පිරිසට අපි එකඟ නෑ. රටේ දැනටමත් තිබෙන ශක්තිමත් නීති පද්ධතිය භාවිත කොට ප්‍රචන්ඩකාරීන්ට එරෙහිව කටයුතු කොට ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍ය ආරක්ෂා කල යුතුය යන මතයට අපිත් සහාය දෙනවා. නමුත් මෙතැනදී සංවිධානාත්මක ප්‍රචන්ඩකාරීන්ව සාමාන්‍ය විරෝධතාකරුවන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම අවශ්‍යයි. රජයට එරෙහිව විරෝධතාකරුවෙක් වූ පමනින් යමෙක් ප්‍රචන්ඩකාරියෙක් වෙන්නේ නෑ. එලෙස විරෝධතා දැක්වීම ව්‍යවස්ථාවෙන් පවා පිලිගත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ අයිතියට අත පෙවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. හදිසි නීතිය යනු ලංකාවේ තිබෙන ඕනෑම නීතියක් අභිබවා කටයුතු කිරීමේ බලය විධායකයට ලබා දෙන සුවිශේෂී නීතියක්. කවුරුන් හෝ පවතින නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැත්නම් එයට විසඳුම රටේ සියලු නීති අභිබවා යන නව නීති රෙගුලාසි සකස් කිරීමේ බලයක් විධායකයට ලබාදීම නොවෙයි. හදිසි නීතිය හරහා සිදුවන්නේ එයයි. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ සාමාන්‍ය නීතිය පවා අවභාවිතා කරමින් විශාල ලෙස දේශපාලන ප්‍රතිවාදින් මර්ධනය කිරිමේ ඉතිහාසයක් තිබෙනා පාලකයන්ගේ අතට මේ හදිසි නීතිය වැනි අවියක් ලබාදීම ඉතාමත්ම අනතුරුදායකයි. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ නීතියේ තියෙන විශේෂ තත්ත්වයක් වන්නේ ජනාධිපතිවරයාට හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න පිළිගතහැකි හේතු තිබුණාද කියන කාරණය සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේවත් කිසිදු ආකාරයකින් ප්‍රශ්න කරන්න නොහැකි වීම. වෙනත් රටවල මේ තත්ත්වය නැහැ. ඒ රටවල හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත්කිරීම පවා අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න කරන්න හැකියාව තිබෙනවා. හදිසි නීතිය පැනවීම වලක්වන්න පුළුවන් එකම තැන පාර්ලිමේන්තුවයි. ඒ නිසා හදිසි නීතිය මුවාවී සියලු ආකාරයේ විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සාදා ගන්නට රජයට ඉඩ දුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනා පර්ලිමේන්තු මංත්‍රීවරයෙක් විදියට මම මගේ වගකීම පැහැර හැරියා වෙනවා. ඒ නිසා මම හදිසිනීතියට විරුද්ධව චන්දය ප්‍රකාශ කලා. මගේ තීන්දුව නිවැරදිද කියනා දෙය ඉතිහාසය තීන්දු කරාවී."