දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බැවින්
ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළද ලෝකය සමඟ පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් රට පසුපසට ගමන් කරන බවය.
ඊයේ (05) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"ඔබ සියලුදෙනා ඉදිරියේදී එක්වන්නේ ඉතා සීග්‍රයෙන් දියුණුවන සමාජයකටයි. ඒ සඳහා ඔබ සූදානම් කිරීම රජයේ වගකීම වෙනවා. ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සමඟ අද දරුවන්ට නවීන ලෝකය සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලැබී තිබෙනවා. එය අධ්‍යාපනයේ අලුත් ආයුධයක්. අප රටක් ලෙස දියුණු විය යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ලෝකය සමඟ එක්ව අප මේ ගමන යා යුතුයි. ඒ සඳහා සෑම ක්ෂේත්රයකම නවීකරණයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා දැනුම හා තාක්ෂණය අවශ්‍යයි. Smart Agriculture කියන්නේ වචනයක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගත යුතුයි. ඒ වගේම බ්ලොක් චේන්ච් තාක්ෂණය එකවර ලබා ගත නොහැකියි. ඒ සඳහා ද දැනුම අවශ්‍යයි. අද ලෝකයේ ආණ්ඩු සහ ඔන්ලයින් සමාගම් අතර විශාල කඹ ඇදීමක් තිබෙනවා. අද සෑම රටක්ම පුරුදුව සිටින්නේ තමන්ගේ බල ප්‍රදේශය තුළ සියලු දේ පාලනය කිරීමටයි. නමුත් දැන් ඔන්ලයින් වැඩසටහන් නිසා කිසිවක් පාලනය කිරීමට නොහැකිව තිබෙනවා. අසභ්‍ය කටයුතු පාලනය කළ නොහැකි නිසා ඒ සඳහා නීති ගෙන ඒමට සිදු වෙලා තිබෙනවා. මේ සීග්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ දැනුම වර්ධනය කර ගැනීම ඉතා අවශ්‍යයි. දැනුම අලුත් කර නොගෙන ලෝකය සමඟ ඉදිරියට යන්න බැහැ. ඒ නිසා දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යය බවට පත් වෙනවා. මේ සඳහා මෙරට පාසල් පද්ධතියේ පරිවර්තනයක් ඇති කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම අධ්‍යාපන මණ්ඩලයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනුම ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට ද ලබාදිය යුතුයි. ඒවගේම පාසල් දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම වගේම ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම සිදුකළ යුතුව තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අද ලෝකය සූදානම් වී සිටිනවා. අපත් එම දැනුම ලබාගත යුතුයි. එවිට අපට මෙම නවීන තාක්ෂණය සමග ඉදිරියෙන් සිටිමට හැකි වෙනවා. ඒ නිසා AI තාක්ෂණය පාසල් විෂය මාලාවට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙය සාර්ථකව ක්‍රියාත්මක කළ විට ඉන්දියාවටත් වඩා AI තාක්ෂණයෙන් ඉදිරියට යාමට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා නව නීති ගෙන ඒමට ද අප කටයුතු කරනවා. හරිත විශ්වවිද්‍යාලය පිළිගත් විශ්වවිද්‍යලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට තවත් නව විශ්වවිද්‍යාලයක් රට තුළ බිහි වෙනවා. ඒ වගේම මම ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයකදී චෙනායි IIT හි මණ්ඩපයක් අපේ රටට ලබාදීමට මෝදි අගමැතිතුමා පොරොන්දු වුණා. ඒ වගේම කුරුණෑගල, සීතාවක සහ තවත් ප්‍රදේශයක තාක්ෂණික විශ්වවිද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට මම මුදල් වෙන් කර තිබෙනවා. මෙම නව තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම සඳහා එම විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගෙනවා. ඒ වගේම SLIIT Campus එක තවදුරටත් දියුණු වී විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට කටයුතු කරන බවට මා දැනුවත් කර තිබෙනවා. එසේනම් අපට අවශ්‍ය මිනිස් බලය නිර්මාණය කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම පරිවර්තනය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි අලුතින් ඉංජිනේරු පීඨ ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන නිසා සැම විශ්වවිද්‍යාලයකම එම පීඨ ආරම්භ කිරීම සිදු කෙරෙනවා. ඒ වගේම භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යා පීඨ ඇති කළ යුතුයි. වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යන නිසා නව වෙද්‍යවරුන් පුහුණු කළයුතුව තිබෙනවා. මේ රට ඉදිරි වසර 75 තුළ ඉදිරියට යන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළහොත් පමණයි. එසේ නොකර ඉදිරියට යන්න බැහැ. ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළත් ලෝකය සමග පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් ආර්ථිකය වැටෙනවා."
(Ada derana)