අපරාධයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ගිනිඅවියක් සමග අත්අඩංගුවට

අපරාධයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක්

ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් මස 16 වන දින මෝදර පොලිස් වසමේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (05) මෝදර වෙරළ තීරයේ දී රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ දී මෝදර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 23 හා 24 යන වයස්වල පසුවන කිඹුලාඇළ, බ්ලුමැන්ඩල් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම අපරාධය සම්බන්ධව මෝදර වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 300ක් තිබී ඇති අතර, එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඔහු තාවකාලිකව පදිංචිව සිටි රාගම ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබූ ටී - 56 ගිනිඅවියක්, එම පතරොම් ගැබ් 2ක් හා ටී - 56 වර්ගයේ පතරොම් 265ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 23ක් හා යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සැකකරු අපරාධය සිදුකිරීමට පැමිණි ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සිටි අපරාධයට අනුබල දුන් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 700ක් සොයාගෙන ඇත.

මේ අතර ඉහත තවත් සැකකරුවෙකු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 700ක් සොයාගෙන තිබේ.

මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)