කෙහෙළියගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය

සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙසද අධිකරණයේ නියම කළේය.

එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමටද අධිකරණය නියම කර තිබේ.

මේ අතර, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා  සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම
සඳහා මේ මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

(Ada derana)