ලොකුම දන්සල දෙරණෙන්

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන

වෙසක් පුන් පොහෝ දිනය හෙටට (23) යෙදී තිබේ. 

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව කටයුතු කරයි.

ඒ, අනුව දිවයින පුරා වෙසක් කලාප 419ක් සහ තොරණ 321ක් පැවත්වීමට ද සැලසුම් කර තිබේ.

වෙසක් උත්සවයට සමගාමීව මේ වනවිට දිවයින පුරා දන්සල් 3,260ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේය.

ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල ටීවී දෙරණ සංවිධායකත්වයෙන් හෙට වෙසක් පොහෝ දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී පැවැත්වෙයි.

24 පැය පුරා පැවැත්වෙන දෙරණ දන්සල හෙට රාත්‍රී 8 ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයද මේ සඳහා දායකවී තිබේ.

මේ අතර දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කරන 'දෙරණාභිවන්දනා' ශ්‍රී කල්‍යාණි සදහම් වෙසක් සජීවි විකාශය කැලණිය රජ මහා විහාරස්ථානයේ සිට ටීවී දෙරණ සහ එෆ්.එම්. දෙරණ ඔස්සේ හෙට දිනය පුරා ගෙන එනු ලබයි.

හෙට අලුයම 5.30 සිට සජීවි විකාශය ආරම්භ කෙරෙන අතර, 
සීල සමාදානය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, රටට සෙත් පතා සිදුකරන ආශිර්වාද පහන් පූජාව ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත් ය.

අනතුරුව පස්වරු 6.40 ට දෙරණ ශ්‍රී කල්‍යාණී වෙසක් කලාපය සහ තොරණ විවෘත කිරීමට නියමිතය.

පහන් කූඩු තරග, භක්ති ගීත ප්‍රසංග, රූකඩ සංදර්ශන, දන්සල් ඇතුළු අංග රැසකින් සමන්විත වෙසක් කලාපය මැයි මස 27 වනදා දක්වා පැවැත්වෙයි.

(Ada derana)