වැටුප් විෂමතා ගැන සොයන්න කමිටුවක්

‍රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන්

සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බැවින් ඊට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

ඒ අනුව එක් එක් ක්ෂේත්‍රවල පවතින වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යයනය කර ඊට ලබාදිය යුතු විසඳුම් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සැඳුම්ලත් අදාළ කමිටුව කඩිනමින් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ තාක්ෂණ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

2024 -2025 වර්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ජුනි මස 07 වන දින දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 22වන දින අවසන් වීමට නියමිතව තිබුණ ද පසුගිය දිනවල පැවති විවිධ පරිපාලන ගැටලු සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදුකර තිබේ.

(Ada derana)