මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා

වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින්  නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබාදුන්නේය.

තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. 

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද? නැත්ද? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසට ය.

ඒ අනුව පෙත්සම යලි ජූනි 25 වනදා කැඳවීමට නියමකළ අධිකරණය එදින මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට නියෝග කළේය.

සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එහෙත් දයාසිරි ජයසේකර මහතා  ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ ද එම අධිකරණය විසින් ද අදාළ වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඉන් අනතුරුව අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

(Ada derana)