ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය.

මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා පසුව කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණි.

එම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"ඕපදූප කතාකරලා වැඩක් නැහැ නියම ප්‍රශ්නය කතා නොකරන නිසා. අද මිනිස්සුන්ට පක්ෂ දේශපාලනය එපාවෙලා. මාස කිහිපයකින් බංකොළොත් භාවයෙන් මිදෙනවා. නමුත් එය අවසානය නොවෙයි. එකතැන හිටියොත් අපි නැවත වැටෙනවා. ආණ්ඩුවට වැඩසටහනක් තියෙනවා. නිකං වේදිකාවේ පොරොන්දු නොදී. මම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. 2027 වෙද්දි දළ දේශීය නිෂ්පාදනය 5%ක වේගයෙන් වැඩිවෙන්න ඕනේ. 2025 වෙද්දි විරැකියාව 5% දක්වා අඩුකළ යුතුයි. මේ පිළිබඳ IMF සමඟ එකඟත්වයකට පැමිණියා. ඒ එකඟත්වයයි නීතියෙන් දමන්නේ. කොයි ආණ්ඩුව ආවත් මේ මාර්ගයේ යන්න ඕනේ. කුමන ආණ්ඩුව වුණත් මේ මාර්ගයේ යායුතුයි. වැට් වැඩිකිරීම වගේ තීරණ කිහිපයක් ගත්තා. වසර දෙකක් ගතවෙන්නත් පෙර රුපියල ශක්තිමත්වෙලා. ඉදිරියට යන්න පුළුවන්."

(Ada derana)