හර්ෂ මුහුණදෙන තර්ජන ගැන හොයන්න CIDයට භාරදෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය

හර්ෂ ද සිල්වා මහතා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට කරන ලද නියෝගයක් මත එම තීරණය ගෙන තිබේ.

අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මද්‍යයේ බවය.

තමාට කාර්යාලයක් නොමැති බවත්, සේවය කිරීමට ඇත්තේ තිදෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටි හර්ෂ ද සිල්වා මහතා ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් ගෙවන බව ද සඳහන් කළේය.

එමෙන්ම ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා ප්‍රශ්න රැසකට මැදි වූ බව ද පැවසීය.

ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් ඇති වූ බවත් තමා එම සිදුවීම යට ගැසීමට උත්සාහ ගන්නා බවට පුවත් පළ වූ බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

එවැනි දෙයක් සිදුකරනු ලබන්නේ කාගේ උවමනාවකට ද යන්නෙන් ප්‍රශ්න කර සිටි ඒ මහතා, තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාට ද හඑහි වගකීමක් ඇති බව ද පැවසීය.

(Ada derana)