ජනතාවට ලැබෙන සහන කඩිනම් කරන්නැයි ජනපති උපදෙස් දෙයි

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින්

ජනතාවට හිමි කරදීමට මැදිහත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

පළාත් ආණ්ඩුකාරවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ති‌බේ.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් ය.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පෙන්වාදී ඇති අතර එළැඹෙන ජුලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද ප්‍රකාශ කර තිබේ.

එසේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ලබන 19 වනදා අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිත බව ද මෙහිදී පවසා තිබේ.