විදෙස් රැකියා ජාවාරමක් හසුවෙයි

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ

නිල්මිණි නමැති කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් මත මෙම සැකකාරියව ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම යන චෝදනාව යටතේය. 

සැකකාරිය අද (13) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් ය.

ඊශ්‍රායල් රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් පමණි.

ඒ අනුව කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඒ සඳහා මැදිහත් විය නොහැකි බවත් එසේ රැකියා ලබාදීමට හැකි බව පවසා මුදල් අය කරන පුද්ගලයින් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න තහවුරු කර ගත යුතුය.

එමෙන්ම වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇනවුම ලැබී ඇති ද යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.