රත්නපුර මහාධිකරණ නඩුවක විභාගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

2000 වසරේ මහ මැතිවරණය පැවති සමයේ

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය රංජිත් සොයිසා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක විභාගය වහාම අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (19) අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම නඩුවේ විත්තිකරුවන් පිරිසක් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අධිචෝදනා පත්‍ර ගොනුකළ බවත් ඉන්පසුව එය ඉවත් කරගත් බවත් දන්වා සිටියේය.

පසුව 2019 වසරේ යළි නඩු පැවරීමට කටයුතු කළ බවද නීතිඥවරයා කියා සිටියේය. 

ඒ අනුව අදාළ නඩුව රත්නපුර මහාධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී එය මුල් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගත් විට ඊට අදාළ ලේඛන හා කටඋත්තර විනාශකොට ඇති නිසා ඒවා නොමැතිව යළි නඩු පැවරීම නීතියට පටහැනි බවට විත්තියේ නීතිඥවරු විසින් මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයක් පවත්වා ගෙනයාමට විනිසුරුවරිය තීන්දු කළ බවද නීතීඥ හෆීල් ෆාරිස් මහතා අභියාචනාදීකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරියගේ එම තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.