මහ මුහුද මැද සිදුකළ ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි

බේරුවල ධීවර වරායේ සිට මුහුදු ගොස් සිටිය දී

බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර තොරතුරු වාර්තා කර තිබේ.

මෙම  බහුදින ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසු ගිය 9 වනදා දහවල් කාලයේදීය.

එහි සිටි එක් ධීවරයෙකු විසින් තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සෙසු පිරිසට ද පහර දී ඇති බවට යාත්‍රාවේ ස්කීපර්වරයා කළ දැනුම් දීමක් මත හිමිකරු විසින් පසුගිය 20 වනදා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව බේරුවල පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ යාත්‍රාව ඊයේ (21) බේරුවල වරායට පැමිණ ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සැකකරු 36 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇත්තේ 49 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ධීවර යාත්‍රාවේ මියගිය ධීවරයාට අමතරව පැදවුම්කරු, සැකකරු සහ තවත් ධීවරයින් දෙදෙනෙකු සිට ඇත.

පොලීසිය පැවසුවේ මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී ඇති වූ ගැටුමක් මත සැකකාර ධීවරයා විසින් පිහියකින් මෙම පහර දීම සිදුකර ඇති බවය.

මෙම පහරදීම සිදුවන විට අදාළ යාත්‍රාව මුහුදු සැතපුම් 180ක් පමණ ගැඹුරු මුහුදේ තිබූ බව සඳහන් වේ.