පරිපාලන සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරියි

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්

අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවය.

වැටුප් වැඩිවීම  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිතර වීමට තීරණයය කර තිබිණි.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලීකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේය.

අ‍ග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවට විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින්ද සහභාගී වී සිටි අතර එහෙත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව විධායක නිලධාරීන් අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කර  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේය.

මේ අතර අධ්‍යාපන අනධ්‍යන සේවකයින් ඊයේ ආරම්භ කළ වැඩවර්නය අද දිනයේත් ක්‍රියාත්මක කර තිබේ.

සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් යහපත් ප්‍රතිචාර ලබාදී නොමැති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්.කේ.තිලකරත්න මහතා සඳහන් කළේය.

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ද හෙට දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේය.

මේ අතර විශ්වවිද්‍යාල සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සමසභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සිය ගැටපු සම්බන්ධයෙන් අද දිනයේ දී වැටුප් කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බවය.

(Ada derana)