දුම්රිය වර්ජනයක්

උසස්වීම් ලබාදීනොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් අද (09)

මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. 

මේ හේතුවෙන් අද පස්වරුවේ සිය ගමනාගමන පහසුකම් ලබාගැනීම සඳහා පැමිණි මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටය.

නියමිත පරිදි උසස් වීම් ලබානොදීම ඇතුළු කරුණු 14 ක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ අද පස්වරුවේය.

දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ, රාත්‍රී 12න් පසු ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල අවලංගු කළ බවය. 

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනයට සූදානම් කොට තිබූ තැපැල් දුම්රියන් අවලංගු කිරීමට පියවර ගත් බවය.

මේ අතර හෙට දින (10) ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවති බවද පැවසීය.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා ඇති බවද දැනුම්දෙයි.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කිරීමට නියමිත වැඩවර්ජනය නීතිවිරෝධී බවත් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දෙයි.