ජනපතිවරණය ගැන පෙත්සම සලකාබැලීමට දින දෙයි

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම

ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම සලකාබැලීම සඳහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ලබන සඳුදා (15) සලකාබැලීමට නියමිතය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මතවී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.