මාදම්පේ සිලිකා වැලි කැණීම ට එරෙහිව අධිකරණයට පෙත්සමක්

මාදම්පේ ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස සිදුකරන

සිලිකා වැලි කැණීම් කටයුතු හේතුවෙන් සිදුවන පාරිසරික විනාශය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

එම පෙත්සම අද (16)  එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

එදින තෙක් අදාළ ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වයේ වෙනස් කිරීම් සිදු නොකරන ලෙසත් අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු පාර්ශ්ව කීපයකට නියෝග කළේය. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් නවයක අක්කර 200ක පමණ සිලිකා වැලි කැණීම් කටයුතු සිදුවන බවයි. 

මේ හේතුවෙන් විශාල වළවල් හතළිහක් පමණ එම ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බවත් ඒවා පිරවීම සඳහා අපද්‍රව්‍ය යොදා ගැනීම සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේය. 

මේ තුළින් විශාල පාරිසරික හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.