නිතර නිතර භූකම්පන ඇති වෙන්නේ ඇයි ?

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා භූකම්පන

තත්ත්වයන් ඇති වීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් "අද දෙරණ" විමසීමක් සිදුකළේය.

එහිදී අදහස් දක්වමින් අතුල සේනාරත්න මහතා පවසා සිටියේ, පෘථිවි අභ්‍යන්තරයේ ඇති පැලුම්තලවල සිදුවන සුළු චලන හේතුවෙන් ඇති වන කම්පනයන් මෙයට හේතුව වන බවය.

"එවැනි චලන ඇති වීමට හේතුව තමා ලංකා භූමියේ ඉතා හෙමින් වසරකට මිලිමීටරයක් දෙකක් වූ ප්‍රමාණයකින් එසවෙනවා. තැනින් තැන ඒ එසවෙන ප්‍රමාණයන් වෙනස්. නමුත් විශේෂයෙන්ම පොළොව අභන්තරයේ භූගත ක්‍රියාකාරී තත්ත්වය වැඩි ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ ස්ථාන හඳුනාගන්න ඉතාම පහසුයි. ඒවා තුළ තියෙන ඛනිජ සම්පත්වලින්. ඇත්තටම මේ ප්‍රදේශ ඛනිජ සම්පත් බහුල ප්‍රදේශයක්. ඉතින් මේ එසවීම හේතුවෙන් තමා මේ සුළු කම්පන තත්ත්වයන් ඇති වෙන්නේ."

අනුරාධපුර සහ කන්තලේ අතර ප්‍රදේශයේ භූකම්පන තත්ත්වයක් ඊයේ (16) සවස වාර්තා වුණි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් යුක්ත බවය.

ඊයේ පස්වරු 5ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.

පසුගිය ජූනි මස 18 වනදා වව්නියාව ප්‍රදේශයේ රික්ටර් මාපක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගත්තේය.