ඝාතන දෙකක්

තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන්

තවත් කාන්තාවක් සහ පුද්ගලයෙක් ඝාතන වී තිබේ.

බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවය. 

ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඝාතනයට ලක්වූ කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමත්ව නිවසට පැමිණ නිතර නිතර පහරදීම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

එම ආරවුල් තත්ත්වය නිසාවෙන් ඇය සති දෙකකට පමණ පෙර සිය දෙමව්පියන්ගේ නිවසට ගොස් තිබුණි.

පසුව ඇය එම නිවසේ සිට දියනෑමට යමින් සිටියදී ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඇයව ඝාතනය කර තිබේ.

සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර මහවෙල පොලිස් වසමේ මිල්ලවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කැත්තකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මහවෙල පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය විසින් ඝාතනය සිදුකළ අසල ඉඩමේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.