ජනාධිපතිවරණ දිනය සැප්තැම්බර් 21 ද? 28 ද?

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය

මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

 

2024 ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 15 අතර පැවැත්වීම අනිවාර්ය වන අතර එය තීන්දු කෙරෙන්නේ ජනාධිපතිවරණ පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එය ප්‍රකාශයට පත් කළ දින පටන් දින 16ත් 21ත් අතර කාලය තුළ දිනක නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන අතර අනතුරුව නාමයෝජනා භාරගත් දිනයේ සිට දින 28ත් දින 42ත් අතර කාලය තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසිම පැවැත්විය යුතු වේ.

ඡන්ද විමසීම අනිවාර්යෙන්ම සෙනසුරාදාවක පැවැත්වෙන අතර ඒ අනුව ජනාධිපතිවරණය බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ ජනාධිපතිවරණ දිනය නිවේදනය කළ වහාම ඊට අදාළ තැපැල් කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බවය.

මේ අතර, නිසි කලට ජනාධිපතිවරණය පවත්වන ලෙස ඉල්ලා පුරවැසි සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වූ අතර පසුව එහි නියෝජිතයින් කිහිපදෙනෙකු එම කොමිසමට ලිපියක් ද භාරදුනි.

එමෙන්ම, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, එම සන්ධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ද අද මැතිවරණ කොමිසම වෙත පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.