ගායන ශිල්පිනී කේ.සුජීවාගෙන් ප්‍රකාශයක් ගනී

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත

ඝාතනයට අදාළව අත්අඩංගුවට ගැනුණු ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය හමුවේ අද (22) මිනිත්තු 40ක රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඒ ඔහු ඇතුළු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අටදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

කෙසේවෙතත් සැකකරුවන් අටදෙනාම අගෝස්තු පස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) පස්වරුවේ නියෝග කළේය.

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ සුරේන්ද්‍ර වසන්ත හෙවත්  ''ක්ලබ් වසන්ත'' ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කෙරුණේ ජූලි 08 වැනිදාය.

සිද්ධියට අදාළව එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 10 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව සැකකරුවන් අද යළිත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතවය.

අතුරුගිරිය පොලීසිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි 21 හැවිරිදි සැකකාරියද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

නීති කෘත්‍ය කැඳවනු ලැබුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේදීය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් අතුරුගිරිය පොලීසිය විසින් එම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම පොලීසිය අධිකරණයට සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ගායන ශිල්පිණී කේ.සුජීවාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගත් බවයි.

තවද මියගිය ක්ලබ් වසන්තගේ සහ ගායන ශිල්පිනී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුලගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද පොලීසිය අද අධිකරණයට ඉදිරිපත් කළේය.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සංජුල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත්වී නොමැති බවය.

තවදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකාර දුලාන් සන්ජුල මාධ්‍ය ඉදිරියේ පොලිසියට කළ ප්‍රකාශය පොලීසියේ අවශ්‍යතාව අනුව සිදුකරන ලද්දක් බවය.

එබැවින් සිය සේවාදායක දුලාන් සන්ජුලට අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව නීතිඥවරයා අධිකරණයට දැනුම්දුනි.

රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්ව පිළිබඳව එහිදී සැකකරුව දැනුවත් කළ මහෙස්ත්‍රාත්වරිය එම තත්ත්ව මත රහස් ප්‍රකාශය ලබාදීමට එකඟවන්නේ නම් දිවා විවේකයෙන් පසු ඔහුට එම ප්‍රකාශය ලබාදීමට හැකි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකකරු අද පස්වරුවේ මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශය සිදුකර තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ සැකකරු මිනිත්තු 40 ක පමණ කාලයක් අදාළ ප්‍රකාශය ලබාදුන් බවය.

සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් අටදෙනාම අගෝස්තු 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු ඊයේ පැවසුවේ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවය.