බෞද්ධ අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි -ජනපති

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය

දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත්නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ස්ථාවර වීමත් සමග ජනතාවට සහන ලබා දිය යුතු බවය.

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3,000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවයක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ අලුත් අදියරක් අද අපි ආරම්භ කරනවා. ඒ අනුව පැවැදි සිසුන්ටත් මෙම ශිෂ්‍යත්ව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අප මේ වන විට ශිෂ්‍යත්වලාභීන් සියුලදෙනාගේ හිඟ මුදල් තමන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට පසුබිමක් තිබෙනවා. පසුගිය වසර 04 දී මේ රටේ ජනතාව විඳි දුක මම අමුතුවෙන් කිවයුතු නැහැ. ආර්ථිකය බංකොලොත්වීම හේතුවෙන් ජනතාව පීඩාවට ලක් වුණා. දැන් රටේ ආර්ථිකය ස්ථාවරවීමත් සමඟ ජනතාවට සහන ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අස්වැසුම, උරුමය වැනි විවිධ වැඩසටහන් අප ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබාදීම වෙනුවෙන් අප ජනාධිපති අරමුදල හරහා ශිෂ්‍යත්ව වැඩසටහන් කිහිපයක් හඳුන්වා දුන්නා. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලා ද දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. 

කුමන හේතුවක් නිසාවත් භික්ෂු අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් ද අප මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. බුද්ධ ශාසනය පිළිබඳ අවධානය යොමු කරන විට නව භික්ෂු පරපුර ගොඩනැගීමට අවශ්‍ය පසුබිම අප විසින් රට තුළ සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් සිදු කළ හැකි වැදගත් කටයුත්තක් ලෙස මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය හැදින්විය හැකියි.

රටේ බෞද්ධ අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම එය දියුණු කළ යුතුයි. පිරිවෙන් ක්‍රමය ආරම්භ කරන විට ඒ වෙනුවෙන් ආධාර උපකාර කිරීමට මට එදා අවස්ථාව ලැබුණා. රටේ ප්‍රශ්න තිබුණත් කිසිවිටෙකත් එම යුතුකම අප අත් හරින්නේ නැති බව කිවයුතුයි."

මේ අතර ස්ථාවර ආර්ථික ක්‍රමයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදුකර අවසන් බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩු වෙනස්වීමේ දී ප්‍රතිපත්ති වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටලුවක් බවය.

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පිළිබදව තාක්ෂණික සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමින් සාගල රත්නායක මහතා ඉන්දියාව සමග පවතින සබඳතා තවදුරටත් වැඩිදියුණු කරමින් පවතින බව ද සඳහන් කළේය.