චමරිගේ සතුට

පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්

ප්‍රේක්ෂකයින්ට සතුටක් ලබාදීමට හැකිවීම පිළිබඳ තමා ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතුටු වන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් චමරි කියා සිටියේ, ප්‍රේක්ෂකයින් රැසක් පැමිණ තිබීම තමා ඇතුළු කණ්ඩායමට ශක්තියක් වූ බවය.

"මට මගේ රටට කුසලානය ගෙනත් දෙන්න පුළුවන් වුණා. මං හිතන්නේ මිනිස්සු ගොඩක් බලාපොරොත්තුවෙන් දුර ඉඳලා ආවේ තරගය නරඹන්න. ඇත්තටම සතුටුයි රටේ ජනතාවට සතුට ගෙනත් දෙන්න පුළුවන් වුණ එකට ක්‍රිකට්වලින්."

මේ අතර ආසියානු කුසලානයද රැගෙන චමරි තරගය නැරඹීම සඳහා පැමිණ සිටි සිය මව වෙත ගිය අවස්ථාවේ දෙදෙනාම සංවේදී වෙන අයුරු දක්නට ලැබුණි.

චමරිගේ මව,

"ගොඩක් සතුටුයි දුව මේ වගේ තරගයකින් දිනුවා කියන එකට. අප්පච්චි නැති වුණාට පස්සේ හැමදේටම මම උදව් වුණා. තනියම ගෙදර ඉන්නවා කියලා හිතුවේ නෑ අප්පච්චි නැති වුණා කියලා නෑ මම එයාගේ ආසාවට ඉඩදුන්නා. එයාගේ ගමන යන්න සැලැස්සුවා. අදටත් එහෙම තමා."

මේ අතර ඊයේ ඉන්දියාව සමග පැවති දෙවන 20යි 20 තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පල්ලෙකැලේ ක්‍රීඩක විවේකාගාරයේදී කාන්තා ආසියානු කුසලානයේ අවසන් තරගය නැරඹන අයුරු දක්නට ලැබුණි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින හිටපු ශ්‍රී ලංකා නායිකාවක මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නඟා සිටුවීමට විශාල දායකත්වයක් දැක්වූ ශෂිකලා සිරිවර්ධන වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළාය.

මේ අතර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ස්කයි ස්පෝර්ට් නාලිකාවේ මැදිරියේ සිට ආසියානු කුසලාන අවසන් තරගය නරඹන අයුරුද දක්නට ලැබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේදී කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ඊයේ දඹුල්ල ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර ඔවුන්ට පළමු කාන්තා ආසියානු කුසලාන ජයග්‍රහණයේ සාක්ෂිකරුවන් බවට පත්වීමට හැකිවුණි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දියා කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට ඊයේ සමත් වුණි.