ඉමියුනොග්ලොබියුලින් එන්නත් රෝහල්වලට බෙදාහැරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි
මාධ්‍ය නිවේදනය,
ICHOR Biologics (Pvt) Ltd යන සමාගම විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඉමියුනොග් ග්ලොබින් නමැති ඖෂධය සඳහා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය ලබා දෙන්නේ 2023 අප්‍රේල් මාසයේදීය. එහිදී ඖෂධයේ ගුණාත්මක භාවය, සුරක්ෂිතභාවය පිළිබඳ සායනික සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ලියාපදිංචිය ලබා දී ඇත.
රෝහල් වලින් ඖෂධ සම්බන්ධව වරින් වර ලැබෙන පැමිණිලි පිළිබඳ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය විසින් පර්යේෂණ සිදුකරනු ලබයි.
ඉහත සඳහන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පෙනී ගිය බැවින්, ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දෙන ලදී.
පසුව මේ පිළිබඳ තවදුරටත් කරන ලද පර්යේෂණ වලදී පෙනී ගියේ එම ඖෂධය නිසි ප්‍රමිතීන්ගෙන් යුතු බවයි.
එසේම ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මඟින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂණ වලින් ද මේ බව තහවුරු විය. එම වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව මගින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බව තීරණය කරන ලද අතර එම තීරණය වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙම ඖෂධයේ තත්ත්වය පිළිබඳව කිසිදු සැකයක් ඇති කරගැනීම අවශ්‍ය නොවන අතර එම ඖෂධය නැවත භාවිතා කළ හැකි බව නිර්දේශ කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව අදාල සියලු කරුණු සලකා බැලීමෙන් පසුව බව දන්වා සිටිමි.