හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, තමන් භාවිත කළ බව කියන මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් සඳහා ව්‍යාජ කුලී ගෙවීමක් ලෙස වසර දෙකකට අධික කාලයක් පුරා මාසිකව රුපියල් දෙලක්ෂ හතළිස් දහසක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ මෙම අක්‍රමිකතාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම කුලිය ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති ලේඛනවල සඳහන් ලියාපදිංචි අංකය, කිරුළපන ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක ප්‍රදර්ශනය කර තිබූ වෙනත් වාහනයකට අයත් එකක් බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.
එමෙන්ම, අදාළ මර්සිඩීස් බෙන්ස් රථය කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණ නොමැති බවට ද අමාත්‍යාංශ වාර්තා මගින් තහවුරු වී තිබේ.
එම රුපියල් 240,000ක මාසික කුලී මුදල රඹුක්වැල්ල මහතාගේ මිතුරියකගේ බැංකු ගිණුමකට බැර කර ඇති බවත්, අනතුරුව ඇයගේ සැමියා විසින් සෑම මසකම එම මුදල් ලබාගෙන එවකට අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු වෙත ලබා දී ඇති බවත් විමර්ශකයෝ පවසති.
මෙම මෝටර් රථ කුලිය සම්බන්ධ චෝදනාවට අමතරව, හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය හමුවේ තවත් බරපතළ නඩු දෙකකට මුහුණ දෙමින් සිටී. ඉන් පළමු නඩුව, රාජ්‍ය රෝහල් වෙත ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් ඖෂධ කුප්පි සැපයීමට කුමන්ත්‍රණය කිරීම සහ එමගින් රුපියල් මිලියන 144.4ක රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙනි. එම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව ද ඔහුට එල්ල වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ චෝදනා 13ක් යටතේ අධිචෝදනා ගොනුකර ඇති අතර,
අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඔවුන් වෙත ලබන සතියේ සිතාසි නිකුත් කිරීමට නියමිතව ඇත. එක් විත්තිකරුවෙකු හැර මෙම නඩුවේ සෙසු සියලු දෙනා මේ වන විට ඇප මත මුදා හැර තිබේ.
මේ අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් තවත් අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ. එහි ඔවුන්ට එරෙහිව චෝදනා 43ක් ඇතුළත් කර ඇති බව වාර්තා වේ
කෙහෙළිය බෙන්ස් රථයෙනුත් මසකට රුපියල් 240,000 ගානේ ගසා කාලා
