2018 වසරේදී අලි-මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා පොළොන්නරුව – මහියංගන මාර්ගයේ කළුකැලේ ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් පොලීසිය ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර ට සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුවන්ට රුපියල් 30,000/- බැගින් වන්දි ගෙවන ලෙසටද අධිකරණය නියෝග කළේය.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද යන අය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
මේ සමඟ වන වැදගත් කරුණක් වූයේ අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේදී විනිසුරුවරුන් විසින් මහේස්ත්‍රාත්වරුන් සහ පොලිස් නිලධාරීන් ඉලක්ක කරගත් වැදගත් උපදෙස් මාලාවක් ද නිකුත් කරනු ලැබීමය.
එහිදී මහේස්ත්‍රාත්වරුන් සඳහා : පොලීසිය ඉල්ලා සිටි පමණින් යම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරුන් කටයුතු නොකළ යුතු බව තීන්දුවේ අවධාරණය කර තිබේ. එසේම සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම සඳහා පොලීසිය කරන ඉල්ලීම් සම්බන්ධයෙන් විචක්ෂණශීලීව තීරණ ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම අනිවාර්ය බව පෙන්වා දී තිබේ.
ඇප ලබාදීම සම්මතය විය යුතු බවත්, ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බවත්, පොලිස් ඉල්ලීම් මත පමණක් නොව අපරාධ යුක්තියේ අරමුණු අනුව තීරණ ගත යුතු බවත් සඳහන් කර ඇත. අධිකරණය මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට මහේස්ත්‍රාත්වරුන් දැනුවත් විය යුතු බවද අවධාරණය කර ඇත.
එමෙන්ම පොලීසිය සඳහා : මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අවශ්‍ය බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කර සිටියේය.
මෙම තීන්දුවේ අඩංගු මූලධර්ම පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම සඳහා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය අවශ්‍ය පියවර ගනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බව විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේය.
එමෙන්ම, වල් අලි ගම් වැදීම වැළැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයාටද නියෝග කර ඇත.
මෙම නඩු තීන්දුවේ පිටපත් අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, පොලිස්පතිවරයා, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා, අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා, මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු අදාළ පාර්ශවයන්ට යොමු කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.
උද්ඝෝෂණයකදී රිමාන්ඩ් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් :මහේස්ත්රාත්වරුන්ටත් අපරාධ යුක්තියේ මූලධර්ම කියාදෙන්න .. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!
