නිසි නීතිමය ක්‍රමවේදවලින් බැහැරව කිරින්ද වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමට බදු දී රජයට රුපියල් ලක්ෂ 263ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දුරකතනය ද විසන්ධි කරමින් සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම කොළඹ අතිරේක මහේත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන ලෙසට අවස්ථා කිහිපයකදී ම ඔහුට දැනුම් දී ඇතත් ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගට ම එම ප්‍රකාශ ලබා දීම මගහරිමින් සිටින බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ ය.
ඔහු අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති නමුත් එහි කිසිදු නීතිමය භාවයක් පෙනෙන්නට නොතිබෙන බව ද පැවසීය.
රටින් බැහැරව සිටින බවට ද ඔහු ඇතැම් අවස්ථාවලදී ප්‍රකාශ කරන බවත් මේ ආකාරයට අසත්‍යය කරුණු ප්‍රකාශ කරමින් අධිකරණය හා අල්ලස් කොමිසම මගහරිමින් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ද විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සැකකාර පුද්ගලයා ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේද යන්න පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බව අධිකරණයට දැන්වීය.
සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුව ඇති බව ද පැවසූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙවැනි සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසමට පූර්ණ බලතල තිබෙන බව ය.
එම බලතල ක්‍රියාත්මක කරමින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේ ය.
එම සිද්ධියට අදාළව එවකට ධීවර සංස්ථාවේ සභාපතිවරයාව සිටි උපාලි ලියනගේ නැමති අය අල්ලස් කොමිසම මගින් පසුගිය දා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම කෙරුණි.
සැකකාර එම හිටපු සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට තවත් පුද්ගලයන් සිටී ද යන්න පිළිබඳව ප්‍රධාන මහේත්‍රාත්වරිය විමසූ අවස්ථාවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චිය අධිකරණයට දැනුම්දී තිබුණා ය.
1994 අංක 20 දරණ අල්ලස් පනත ප්‍රකාරව දූෂණය නැමැති වරද යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
Update ‘දුරකථනය දවස් 15ක්ම වැඩ නෑ !! අල්ලන්න ගියත් රාජිත ගෙදර නෑ....වෛද්‍ය වාර්තාව බෙහෙත් උණ්ඩුවක් විතරයි අල්ලස් කොමිසම උසාවියට කියයි
